සංචාරකයන් වශී කර ELLA ROCK



කඳු නගින්න පරිසරයේ සුන්දරත්වය විඳගaන්න කැමති අය බොහෝ ප්‍රිය කරන ගමනාන්තයක් වන “ඇල්ල රොක්” - ඇල්ල  පුරවරයට උරුමකම් කියන අතිශය සුන්දර කඳුවැටියක්. 

ක්ලේරා

ජුලියා

ධම්මිකා

ඇල්ල සංචාරක කලාපය තුළ  උඩරට දුම්රිය වගේම විස්මිත ඉදිකිරීමක් වන ඇල්ල ගොටුවල පිහිටි “ආරුක්කු 9 පාලම හෙවත් නයින් ආච්”, පුංචි ශ්‍රීපාදය, රාවණාඇල්ල, රාවණා ගුහාව, යනාදී ආකර්ෂණීය ස්ථාන අතර ඇල්ල  රොක් කඳුවැටියට හිමිවන්නේ  සුවිශේෂ ස්ථානයකි.

ඇල්ලට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ අනිවාර්ය සංචාරයක් වන ඇල්ල රොක් උස මුහුදු මට්ටමේ සිට අඩි 4514 කි. කිතල්ඇල්ල ගම්මානයේ සිට ඊට ඉහළින් පිහිටි රොක් තරණය කිරීමට අඩි දහසක් (1000) ක් පමණ ඉහළට පා ගමනින්ම යායුතු අතර, ඇල්ල රොක් කන්ද තරණය කිරිමට  ප්‍රධාන වශයෙන් මාවත් දෙකක් ඇත. 

ඇල්ල රොක් ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ඓතිහාසික වැදගත්කමක් ද දරණු ඇත.  එය වරක් යටත් විජිත යුගයේ උපායමාර්ගික වාසිදායක ස්ථානයක් වූ අතර, අවට නිම්න සහ තේ වතු පිළිබඳ පරිදර්ශක දසුනක් සපයයි.

ඇල්ල රොක් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය පරිපාලකයින් සහ මිනින්දෝරුවන්ගේ නිරීක්ෂණ ස්ථානයක් වූ අතර, විශාල තේ වතු අධීක්‍ෂණය කිරීමට සහ ප්‍රදේශයේ මිනිසුන් සහ භාණ්ඩ ගමන් කිරීම නිරීක්ෂණය කිරීමට ඔවුන් මෙම පර්වතයේ උස් ස්ථානය භාවිත කර ඇත. ප්‍රදේශයේ යටත්විජිත බලපෑම නිසා ඇල්ල හරහා දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ද හේතු වි ඇත. 

  •  ගමන් මාර්ගය  

කොළඹ සිට එන අයෙක් නම් ඇල්ල Railway Station එකට පැමිණ එතැන්  සිට කිතල් ඇල්ල Railway Station එකට කිලෝමීටර් 3 ක් දුර පාගමනින් ගමන් කර එතැන් සිට කිතල්ඇල්ල ගම හරහා කඳු මුදුනට කිලෝ මීටර් 2 ක් පමණ දුර ගෙවා ඇල්ල රොක් වෙත ලඟා විය හැකිය. 

එමෙන්ම ඇල්ල නගරයේ සිට Zion View Green Retreat Hotel අසලින් වැටී ඇති මාර්ගයෙන් කිතල්ඇල්ලට ගමන් කර, එතැන් සිට ද ඇල්ල රොක් තරණය කළ හැකිය. 

කිතල්ඇල්ල දුම්රිය ස්ථානයේ සිට විනාඩි 10 ක් පමණ ගතවෙන  කෙටි දුරක් දුම්රිය මග දිගේ පාගමනින් ගමන් කර හෙළ කිතල්ඇල්ල ගම්මානය දෙසට විහිදුන ගුරුපාරේ ගමන් කළෙමි.එම පාර වැටී ඇත්තේ එම  ගම්මානය මැදිනි. ඒ අවට වගාබිම්ය. කුඩාවට ඉදිකළ  අවන්හලකි. එය මානා සෙවිලි කළ දැකුම්කලු එකකි. ගැමියෙකුට අයත්ය. බොහෝ විදේශිකයෝ  යන - එන ගමන් මෙම අවන්හලට ගොඩවන්නේය.

කොස් මාළුව හෝ  හතුමාළුව සමග මෙහිදී ලැබෙන රොටී බොහෝ විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇති බව දැනගන්නට ලැබිණ.

ප්‍රංශයේ සිට පැමිණි ජුලියා සහ  ඩෙන්මාර්ක් සිට පැමිණ ක්ලේරා මට හමුවූයේ ද මෙම සොඳුරු සෙවණේ දීය.
ගැමියන් හරිම ලෙන්ගතු බව එම කතුන් පැවසූහ.

මම ජුලියාට සවන් දුනිමි.

“මම ලෝකයේ බොහෝ රටවල සංචාරය කරලා තියෙනවා. ඔබේ රටෙත් සති 3 ක් ඉන්නවා.  දැනට සංචාරය කළ ප්‍රදේශ අතරින් වඩාත් සිත්ගත් ප්‍රදේශය තමයි ඇල්ල. ලෝකයේ කොහේවත් නැති තරම් සුන්දර දේවල් මෙහි තිබෙනවා. ඒ වගේම තමයි ලංකාවේ අනෙකුත් සංචාරක පුරයන්ට වඩා ඇල්ල රොක් කියන්නේ ආරක්ෂිතව ඕනෑම කෙනෙකුට තනිවම වුණත් තරණය කළ හැකි කඳුපන්තියක්. මේක පහසු ගමනක් නොවුණත් සුන්දරත්වයට කැමැති කවුරුත් අනිවාර්යයෙන්ම එන්න ඕන තැනක් කියල මට හිතනෙවා.  මම මෙතෙක් දැකපු වඩාත් සුන්දරම  ‘හිරු උදාව’ දැක්කේත් රොක්  කඳු මුදුනෙදි ඒ ගැන හරිම සතුටුයි”  

“මට ජුලියා මුණ ගැසුණේ මේ ගමනෙදි. ඒක නම් මිහිරි අත්දැකීමක්. රත්පැහැ ගැවුණු හිරු පියවරින් පියවර කඳු අතරින් මතුවෙද්දි මේක වෙනම ලෝකයක් කියල මට හිතුණා. මීදුමට තුරුලුවෙලා අපි දෙන්නා අසීමිත ලෙස මේ පරිසරය වින්ද‌ා. තවත් සංචාරකයෝ හුඟාක් මේ අත්දැකීම ලබාගන්නා අයුරු දැක්කා” යැයි ක්ලේරා සිනා සෙමින් කීවාය.

(මග දිගට හමුවූයේ පුවක් ගෝනි, වී ගෝනි, වැනි බර කරතබා ගෙන ගමන් කරන ගැමියන්ය).

මේ ධම්මිකා ය. ඈ කතාව පටන් ගත්තාය.

“සර්.. මේ සංචාරකයෝ හරිම හොඳයි. වෙලාවකට අපිට පුදුමත් හිතෙනවා. දවසක් මම රේල් පාරෙ ඉඳල වී ගෝනියක් ගේන්න බැරිව නතර වෙලා හිටියා.විදේශික තරුණයෙක් හිනාවෙලා ඒ වී ගෝනිය කර තබාගෙන අපේ ගෙදරට ගෙනැත් දීලා ගියා.

මම ‘තෑන්ක් යූ’ කිව්වා. ඊට වඩා ස්තුති කළ යුතු වුණත්,  මම දන්න ඉංග්‍රිසි එච්චරයි නේ සර්.
 
මේ විදියට තේ දලු ගෝනිත් ගිහින් දෙනවා. සමහර විදේශිකයෝ ඇල්ල රොක් නගින්න ආවම අපි කුඹුරු වැඩ කරනවා නම් කුඹුරුවලට බැහැලා පැල හිටවනවා. අපි උපන් ගම් මේවා. මේ ගම්මැද්දෙන් ඇල්ල රොක් තරණය කරන ඕනැම සංචාරකයෙකුගේම ආරක්ෂාව ගැන සොයනවා” යනුවෙන් ධම්මිකා තවදුරටත් පැවසුවේ ඇගේ නිවස අසළදී  මගෙන් සමුගනිමිනි.
 

 
  • හමු වූයේ  අසීරු අඩි පාරකි
 
මෙම කඳු නැග්ම සමහර ස්ථානවල ඉතා දුෂ්කරය. ගල් බොරලු මතින් පා තබමින් ෆයිනස් සහ තේ වගාව මැදින් ඉහළ යන විට දැනෙන විඩාවට  සහනයක් වූයේ  සිසිල් සුළං සහ අවට දසුන්හි චමත්කාරය පමණි.
 
සාමාන්‍යයෙන් ඇල්ල රොක්  තරණය කිරීමට පැය එක හමරක පමණ කාලයක් ගතවන අතර,  ඇතමුන්ට එය පැය දෙකක දෙකහමාරක ගමනකි. ගමනේ කාලය තීරණය වන්නේ කාය ශක්තිය අනුවය. කන්ද බැසීමටද ඒ තරම් කාලයක් ගත වුවත් වර්ෂාව පවතින අවස්ථාවලදි මේ ගුරු පාර ලිස්සන සුලුය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන වගාවක් මැදින් අවසාන කොටස ගමන් කළ යුතු අතර, මෙහිදී  විදේශික වැඩිහිටියෙකු ගෙන් රුපියල් 930 ක්, විදේශික කුඩා ළමයෙකු ගෙන් රුපියල් 470 ක් පිවිසීමේ ගාස්තු ලෙස අයකරන්නේ - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ස්ව‍දේශික වැඩිහිටියෙකුට රුපියල් 75 ක් ද, ළමයෙකුට රුපියල් 40 ක් ද අයකරන බව මෙම ස්ථානයේ ඇති ප්‍රවේශපත් කවුළුවේ සටහන් කර තිබේ.
 
එම ටිකට් කවුළුවෙන් පසු ඔබ ඇතුළු වන්නේ ඔබේම ඉසව්වට ය. එය නිදහස් ය. ඇල්ල රොක් ඉහළ කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ට අයත් වන රක්ෂිතයකි. පහළ ප්‍රපාත කොටස අයත් වන්නේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රාවණාඇල්ල  වනජීවී රක්ෂිතයට ය.
 
මුලින්ම  හමුවන ගල් තලාවේ ඉඳගෙන හෝ දිගාවී  අපමණ දසුන් නැරඹිය හැකිය. ඉදිරියෙන්ම ඇල්ල පුංචි ශ්‍රීපාදය නමැති උස් කඳුමුදුන මෙන්ම  ඈතින් බල්ලකෙටුව කඳුපන්තිය දිස්වන්නේ ය. තවත් කඳුවැටි  විසිතුරු මෙන්ම තේ කම්හල් ද මෙම ස්ථානයට දිස්වන්නේ මීදුම් සළු පොරවා හැඩ වෙන අතර තුරේය.  මෙම දසුන් අතර බොහෝ වේලාවක් ගත කරන විදේශිකයෝ විශාල ප්‍රමාණයක් දැකිය හැකිවිය.
 
සිතැඟි වේලාවක් මේ දසුන් විඳ ඉන්පසු පර්වතය දිගේ ගමන් කළ යුත්තේ දෙවැනි නැරඹුම් ස්ථානයට ය.  ඒ යන අතරතුරේ සංචාරකයන් සඳහා ඉදිකළ ලැගුම් හලක් දැකිය හැකිය. එහි හත් දෙනෙකුට නවාතැන් ගත හැකි වුවත්, ජල ප්‍රශ්නයක් නිසා එය තවම සංචාරකයන්ට ලබාදීමට නොහැකි වී ඇති බව වන සංරක්ෂණ නිලධාරියෙක් පැවසිය.
 
  • ඇල්ල රොක් දෙවැනි නැරඹුම් ස්ථානයට
 
මෙම ස්ථානයට ලඟා වූ විට අඩි සිය ගණනක් ප්‍රපාතයේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන  මාර්ගය  දිස්වෙයි. එම මාර්ගයේ ධාවන වන බස්රථ  පෙනෙන්නේ ගිනි පෙටිටියක් තරමටය. කුඩා වාහන ඊටත් වඩා කුඩාවට දිස් වන්නේය.රාවණා ඇල්ලේ කොටසක් පමණක් දිස්වෙයි. ගිනි තැබීම නිසා පුපුරා ගිය ගල් ඉරිතලා ඇති අයුරු මෙම  පර්වතයට මුදුනට මැනවින් දර්ශනය වනු ඇත.
 
  • ඇල්ල රොක් නැරඹීමට හොඳම කාලය
 
ඇල්ල රොක් නැරඹීමට හොඳම කාලය වියළි කාලගුණය වන අතර මෙය හිතකර කාලගුණික තත්ත්වයක් වේ. 
 
මෙම කාල සීමාවන්හි දී ස්වභාවික සුන්දරත්වය  අඩුවක් නොමැතිව රස විඳීමට ඔබට හැකි වනු ඇත. ඇල්ල රොක් නැගීම සඳහා හොඳම කාලය ලෙස ජනවාරි සිට අප්‍රේල් දක්වා මෙම කාල සීමාව අපූරුය.  ජනවාරි සහ පෙබරවාරි විශේෂයෙන්  මෘදු උෂ්ණත්ව අගයක් ගනිමින් අවම වර්ෂාපතනයක් ලබා දෙයි. මෝසම් සමයෙන් පසු භූ දර්ශනය සශ්‍රීක සහ කොළ පැහැයෙන් යුක්ත වන අතර, ඔබේ කඳු නැගීම සඳහා මනරම් පසුබිමක් නිර්මාණය කරයි.
 
ජූනි සිට සැප්තැම්බර් දක්වා මෙම මාස ද වියළි කාලයට අයත් වන අතර ඇල්ල පාෂාණය නැරඹීමට කදිම කාලයකි. කාලගුණය උණුසුම් හා අව්ව පවතින අතර, එළිමහන් ක්‍රියාකාරකම් සඳහා එය පහසු කරයි. ජූලි සහ අගෝස්තු සංචාරකයින් අතර ජනප්‍රියයි. එබැවින් මෙම කාලය තුළ තරමක් වැඩි සෙනඟක් බලාපොරොත්තු වනු ඇත. කාලගුණික රටා වෙනස් විය හැකි බව සැලකිල්ලට ගැනීම වැදගත් වන අතර වියළි කාලවලදී පවා වරින් වර වර්ෂාපතනයක් ඇති විය හැක.
 
  • ඇල්ල රොක් ගම්මානය, දේශීය ආහාර  සංස්කෘතික අත්දැකීම්
 
කඳු නැගීමෙන් පසු, ඇල්ල රොක් හරහා වැටී ඇති ගම්මානය ගවේෂණය කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඔවුන් ආවේණික ගැමි ආහාර  ද බුක්ති විඳීමේ හැකියාව ලැබෙනු ඇත. 
 
වාර්ශිකව හෝ  වාර ගණනාවක් මේ සුන්දරත්වය විඳ ඇති නමුත්, මෙම සොඳුරු ඉසව්වෙන් සමුගැනීමට මගේ සිත අදි මදි කළද, අඳුර පැතිර යන නිසා සමුගත යුතු විණි.
 
අවසන් වශයෙන් ඔබට මෙසේ ලියමි.
 
ඇල්ල රොක් ඔබ අනිවාර්යයෙන්ම තරණය කළ යුතු සුන්දර ස්ථානයකි. විශේෂයෙන්  නිරෝගී අය  පමණක් ඇල්ල රොක් නැගීම  සුදුසු යැයි සිතමි. මන්ද මේ තරණය තරමක් අසීරැය.ජල බෝතලයක් හා කෙටි ආහාරයක් හෝ රැගෙන යාමද අමතක නොකළ යුතුය.





 


බදුල්ලේ 

පාලිත ආරියවංශ