ලාස් වේගාස්, ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ සුරපුරයයි. රාත්‍රී විදුලි ආලෝකයෙන් දිළෙන, අති සුඛෝපභෝගී හෝටල සහ කැසිනෝ පිරි, ලාස් වේගාස් නුවර සැලකෙන්නේ විනෝදාස්වාදයේ මෙන්ම සූදුවේ ද අගනුවර කියාය. ලාස් වේගාස් නොනිදන නගරයකි. සෑම රාත්රීයක්ම සැණකෙළි ශ්‍රීයක් ගනී. පසුගිය පළමු වැනිදා රාත්‍රීයේ ලාස් වේගාස් නුවර ‘වේගාස් ස්ටි්රප්’ නමින් හැඳින්වෙන හෝටල සහ කැසීනෝ පිරි කලාපයේ, මාර්ග අංක 91 සහ අවට, ‘මැන්ඩලේ බේ’ හෝටලයට අබියස එළිමහනේ පැවැත්වෙමින් තිබුණු ඇමෙරිකන් ගොපලු ගී ප්‍රසංගයකට එල්ල වුණු වෙඩි ප්‍රහාරයෙන් ලාස් වේගාස් වැසියන් පමණක් නොව, මුළු මහත් ඇමෙරිකාව පමණක් නොව, මුළු ලොවම කැලැඹිණි. එම වෙඩි තැබීමෙන් මියගිය ගණන 59කි. තුවාල ලැබූ ගණන 527කි. ඇමෙරිකානු ඉතිහාසයේ සිදුවුණු දරුණුතම සමූල ඝාතනය මෙය යැයි ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි.
‘අස්වනු සැණකෙළිය’ යන නමින් නම් කළ එම ගොපලු ගී ප්‍රසංගයේ තෙවැනි සහ අවසන් දිනය එය විය. 22,000 කට වැඩි පිරිසක් ගී සැණකෙළියට සහභාගී වී සිටියහ. රාත්‍රී 9.40 පමණ වෙද්දී, ගායක ජේසන් ඇල්ඩීන් වේදිකාවේ ගී ගයන්න විය. සුළු මොහොතකින් මරුවා තමා සොයා පැමිණෙන්නේ යැයි සැණකෙළියට පැමිණි පිරිස දැන සිටියේ නැත. රාත්‍රී 10.10 පමණ වෙද්දී, වෙඩි හඬවල් ඇසෙන්න වූ අතර, එකිනෙකා බිම ඇද වැටුණි. ඒ සමඟ මහත් කලබලයක් ද හටගත්තේය. සැණකෙළියේ සිටි පිරිස පණ බේරා ගනිමින් හිස්ලූලූ අතර දුවන්න වූහ. එසේ දුවද්දී ද ඇතැම්හු වෙඩි උණ්ඩවලට බිලි වූහ. තවත් බොහෝ දෙනෙක් ඇද වැටී තෙරපී තුවාල ලැබූහ.
‘මැන්ඩලේ බේ’ හෝටලය සහ කැසීනෝව ඉදිරිපිට සැණකෙළියට වෙඩි ප්‍රහාරයක් එල්ල වන බව පොලිසිය දැනගත්තේ රාත්‍රී 10:08ටය. ලාස් වේගාස් පොලිස් නිලධාරීන් සහ ‘ස්වොට්’ පොලිස් බළඇණි මැන්ඩලේ බේ හෝටලය අවට රැස් වූයේ වෙඩික්කරු සොයමිනි. පොලිසිය මුලින් සිතුවේ වෙඩික්කරුවන් කිහිප දෙනකු ඇතැයි කියාය. රාත්‍රී 11:08 වෙද්දී, ලාස් වේගාස් ස්ටි්රප් කලාපයේ කොටසක් පොලිසිය වසා දැමීමට ද කටයුතු කළේය.
වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ සැණකෙළිය පැවැති ස්ථානයට කෙලින්ම ඉදිරියෙන් ඇති ‘මැන්ඩලේ බේ’ හෝටලයේ 32 වැනි මහලෙන් යැයි පොලිසිය තහවුරු කර ගනිද්දී රාත්‍රී 11.20 පසු වී තිබුණි. ලාස් වේගාස් ස්වොට් බළඇණි අසුරු සැණින්, මැන්ඩලේ බේ හෝටලය වට කර ඊට ඇතුළු වූහ.
රාත්‍රී 11:20 වෙද්දී, ස්වොට් පොලිස් නිලධාරීන්, මැන්ඩලේ හෝටලයේ 32 වැනි මහලේ වෙඩික්කරු සිටින කාමරය වටලා තිබුණි. සීරුවෙන් සිට නිවැරදි වේලාව බලා පොලිස් නිලධාරීහු කාමරයේ දොර කඩා ගෙන ඇතුළට කඩා වැදුණාහ. එම අවස්ථාවේදී වෙඩික්කරු හිසට වෙඩි තබා ගනිමින් දිවි නසා ගත්තේ යැයි පොලිසිය පසුව පැවසීය.
වෙඩික්කරු දිවි හානි කරගන්නා තෙක්, මිනිත්තු 72ක කාලයක් පුරා ස්නයිපර් තුවක්කු කිහිපයක් යොදා ගනිමින් ඔහු වෙඩි තැබීම් සිදුකර තිබුණි. සැණකෙළියේ සිටි පිරිස වෙත පිටපිට වෙඩි ප්‍රහාර එල්ල විය. තත්පර කීපයක විරාමයක් පැවැතියේ නම් ඒ, වෙඩික්කරු ඔහුගේ තුවක්කු මාරු කරද්දී හෝ උණ්ඩ පුරවා දමද්දී පමණි. වෙඩික්කරු නැවැතී සිටි සුඛෝපබෝගී හෝටල කාමරයේ තිබී පොලිසිය නොයෙක් විදියේ ගිනි අවි 23ක් සොයා ගත්තේය.
රාත්‍රී 11:20 වෙද්දී, වෙඩි පහරින් තුවාල ලැබූ සහ කලබලයට පත් වී පණ බේරා ගැනීමට උත්සහ දරා තුවාල ලැබූවන් ලහිලහියේ රෝහල් වෙත රැගෙන යමින් තිබුණි. ඔවුන් ලාස් වේගාස් නුවර රෝහල් කිහිපයකට ඇතුළත් කෙරුණු බව පසුව වාර්තා විය. තුවාලකරුවන් රෝහල් වෙත යොමු කිරීමට පොලිසිය යුහුසුළුව කටයුතු කළේය. වෙඩි තැබීම සිදුවුණු ස්ථානයට නුදුරින් පිහිටි ලාස් වේගාස් මැක්කැරන් ගුවන්තොටුපොළ බලධාරීන් ගුවන් තොටුපොළ වසා දැමීමට තීරණය කර තිබුණි. ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හැරැවිණි. ඒ වනවිට ලාස් වේගාස් නුවරින් පිටවන සියලු ප්‍රධාන මාර්ග ද වසා දමා තිබුණැයි වාර්තා විය.
මැදියම් රෑ 12:00 වෙද්දී, වෙඩික්කරු මියගිය බව පොලිසිය නිවේදනය කළේය. ඔහුගේ අනන්‍යතාව ද හෙළි කළේය. ඔහු 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් නමැති සුදු ඇමෙරිකානු ජාතිකයෙකි. අලුයම 1.06 ට දකුණු කැලිෆෝනියා පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් තම සාමාජිකයකු ද තුවාල ලැබූ බවය. රාජකාරියේ යෙදී නොසිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙඩි පැඩොක්ගේ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණැයි ද පැවසිණි.
වෙඩික්කරු ස්ටීවන් පැඩොක් ගැන කරුණුකාරණා පොලිසිය ප්‍රසිද්ධියට පත් කළේ පසුදා (2) ය. පැඩොක් කෝටිපතියෙකි. මැන්ඩලේ බේ හෝටලය සහ කැසීනෝවට පැමිණ එහි 32 වැනි මහලේ සුඛෝපභෝගී කාමරයක නවාතැන් ගෙන ඇත්තේ මීට දින කීපයකට පෙරය. ඔහු ගිනි අවි එකිනෙක ගමන් මලුවල දමාගෙන කාමරයට ගෙනත් ඇතැයි පසුව අනාවරණ විය. පැඩොක් කෝටිපතියෙකු වූයේ දේපොළ වෙළෙඳාම් හරහාය. ඇමෙරිකාව පුරා ඔහු දේපොළ වෙළෙඳාම් කටයුතුවල නියැලී ඇත. ලාස් වේගාස් සුඛෝපභෝගී හෝටල හිමිකරුවන් පැඩොක් හොඳින් හඳුනන බව ද පැවසෙයි.
පැඩොක්ට කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන් යානා දෙකක් ද තිබේ. ඒවා පැදවීමට ගුවන් නියමු බලපත්‍රයක් පැඩොක් සතු විය. පැඩොක් ගණකාධිකාරවරයෙකි. අභ්‍යන්තර විගණන නිලධාරියකු ලෙස පැඩොක් ඇමෙරිකාවේ ප්‍රකට ‘ලොකීඩ් මාටින්’ සමාගමේ වසර තුනක් ද සේවය කර තිබේ.
වෙඩි තැබීම සිදු කිරීමට ස්ටීවන් පැඩොක් මැන්ඩලේ හෝටලයේ 32 වැනි මහලේ පිහිටි ඔහුගේ කාමරේ වීදුරුව කඩා දමා ඇත. ඒ, ඉකුත් පළමු වැනිදා රාත්‍රී 10.08 ට පමණය. ස්නයිපර් තුවක්කු අටවා වෙඩි තැබීම ආරම්භ කළේ ඉන්පසුවය. පැඩොක් දිවි නසා ගැනීමෙන් පසු, පොලිසිය කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළේය. මැන්ඩලේ බේ හෝටලයේ රථ ගාලේ තිබුණු පැඩොක්ගේ මෝටර් රථයේ රසායනික පොහොර මලු කිහිපයක් අඩංගු විය. පොලිසිය කියා සිටියේ බෝම්බ නිපදවීමට ඒවා යොදා ගැනීමට පැඩොක් සූදානමින් සිටින්න ඇතැයි කියාය.
ස්ටීවන් පැඩොක් මෙසේ සමූල ඝාතනයක් කළේ ඇයිදැයි යන්න ගැටලුවකි. ‘යක්ෂාවේශ’ වී, පැඩොක් එසේ ඝාතනය කළේ ඇයිදැයි සුලමුල සොයාගැනීමට ලාස් වේගාස් පොලිස් පරීක්ෂකයන්ට හෝ එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට හෝ හැකියාව ලැබී නැත. පැඩොක් කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් ‘ඒ.ටී.එෆ්.’ කාර්යාශයේ නිලධාරීහු ද පරීක්ෂණ පවත්වති. ඇමෙරිකාවේ ගිනි අවි සහ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ ‘ඒ.ටී.එෆ්.’ කාර්යංශයයි.
පරීක්ෂකයන් පවසන්නේ ස්ටීවන් පැඩොක් මාර්ග නීති උල්ලංඝනය සම්බන්ධයෙන් හෝ දඩ කොළයක් ලබා ගෙන නැති බවය. පැඩොක් දිවි නසා ගත් බැවින්, සමූල ඝාතනයේ අබිරහස ඔහු සමඟ වළපල්ලට යනු ඇතැයි ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
පැඩොක් පදිංචි වී සිටින්නේ ලාස් වේගාස් නුවර සිට කිලෝ මීටර් කීපයක් දුරින් මෙස්කීට්හි නිවසකය. ‘එෆ්.බී.අයි.’ සහ ‘ඒ.ටී.එෆ්’ පරීක්ෂකයෝ මෙම නිෙවස සෝදිසි කළහ. එහිදී නවීකරණය කළ ස්වංක්‍රීය ගිනි අවි රැසක් තිබී සොයා ගැණින. පැඩොක්ට ගිනි අවි ළඟ තබා ගැනීමට බලපත්‍ර ඇති නමුත්, ඔහුගේ නිෙවසේ තිබී සොයා ගත් ගිනි අවි ඔහුට ළඟ තබා ගැනීමට නොහැකි යැයි ඒ.ටී.එෆ් පරීක්ෂකයෝ පෙන්වා දෙති. පැඩොක් ගිනි අවි මිලදී ගෙන ඇත්තේ ‘දඩයමේ’ යෑමට බවත්, නෙවාඩා කාන්තාරයේ දින ගණනක් ගත කරමින් පැඩොක් ඉලක්කයට වෙඩි තැබීම් කර ඇති බව ද පසුව අනාවරණ විය.
ස්ටීවන් පැඩොක්ගේ සොයුරා එරික් පැඩොක් පවසා ඇත්තේ, තම සොයුරා මෙවැනි දෙයක් කළේ ඇයි ද කෙසේද යන්න සිතා ගැනීමට නොහැකි බවය. ස්ටෙෆන්ට ගිනි අවි බලපත්‍ර තිබුණු බවත්, ගිනි අවි භාවිතා කළ බවත් පොලිසිය පවසන ආකාරයේ ‘ඩී.ඩී.එම්.4 රයිෆල්’ සහ ‘එෆ්.එන් 15’ ගිනි අවි ඔහු ළඟ තිබුණු බවක් තමා නොදන්නා බව එරික් කියා සිටී. තම සොයුරා මානසික ආතතියකින් පෙළුණු අයකු හෝ කිසිවකු සමඟ වෛරයකින් පසුවුණු තැනැත්තකු හෝ නොවන බව ද එරික් වැඩිදුරටත් කියා සිටී. ස්ටීවන් පැඩොක්ගේ මිතුරන් පවා පවසා ඇත්තේ පැඩොක් ‘නියම ඇමෙරිකානුවෙකු’ කියාය. ඔහු මේ අයුරින් ම්ලේච්ඡ ඝාතනයක් කළේ කෙසේදැයි සිතා ගන්න බැරි යැයි ඔවුහු කියති.
පැඩොක් මේ අයුරින් වියරු වැටී සමූල ඝාතනයක් කළේ කුමන හේතුවක් නිසාදැයි සිතා ගැනීමට පවා අපහසු බව පැඩොක්ගේ සොයුරා සහ ඥාතීහු පවසති. පැඩොක්ගේ පෙම්වතිය 62 හැවිරිදි මාරිලෝ ඩැන්ලි නමැත්තියයි.
පිලිපීනයේ සංචාරයක නියැලී සිටි ඇය පසුගිය 4 වැනිදා යළි ඇමෙරිකාවට පැමිණියාය. එෆ්.බී.අයි. නිලධාරීන් ගුවන්තොටුපොළේ දී ඇය හමුවුණු බව ද පැවැසිණි. ඇය ද පවසා ඇත්තේ ස්ටීවන් පැඩොක් උම්මතකයකු නොවන බවය. පැඩොක් මීට පෙර විවාහ වී සිට ඇති අතර, ඔහුගේ බිරිඳ වූයේ පෙගී නැමැත්තියයි. වසර 27කට පසු දෙදෙනා දික්කසාද වී ඇත්තේ මීට වසර 6කට පෙර යැයි ද පැවසෙයි. පෙගී යළි විවාහ වී සිටින අතර ඇය පදිංචිවී සිටින්නේ ලොස් ඇන්ජලීස් නුවරය.
ලාස් වේගාස් නුවර වෙඩි තැබීම කළේ තම සංවිධානයේ සාමාජිකයකු යැයි අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පසුගිය 2 වැනිදා පැවසීය. අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් එම වෙඩි තැබීමේ වගකීම බාර ගෙන ඇත්තේ ඔවුන්ට හිතවත් වෙබ් අඩවි ඔස්සේය. කෙසේ නමුත් පැඩොක් සහ අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන් අතරේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු යැයි එෆ්.බී.අයි. කාර්යාංශය පවසා ඇත. ඇමෙරිකන් ආරක්ෂක අංශ පෙන්වා දී ඇත්තේ වෙඩි තැබීමේ වගකීම බාර ගනිමින් ‘අයි.එස්.’ ත්රස්තවාදීන් ‘බොරුවට ළකුණු දමා ගන්න’ උත්සාහ කළ බවය.
ඩේලිමේල් ඇසුරිනි.
ලුසිත ජයමාන්න