ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 වසරේදී දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙන් මිලදී ගත් සම්පූර්ණ ඩොලර් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.8ක් ඉක්මවන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය ඉතිහාසයේ මෙතෙක් මහ බැංකුව විසින් මිලදී ගනුලැබූ ඉහළම වාර්ෂික විදේශ විනිමය (ශුද්ධ පදනම මත) ප්‍රමාණය බවත් මහ බැංකුව සඳහන් කරයි.
මෙම මිලදී ගැනීම් හේතුවෙන් 2023 වසර අවසානයේදී ඩොලර් බිලියන 4.4ක්ව පැවැති විදේශ විනිමය සංචිතය 2024 අවසානයේදී ඩොලර් බිලියන 6.1ක් දක්වා වර්ධනය කරගැනීමට හැකි වූ බවත් මහ බැංකුව සඳහන් කරයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) එළිදැක්වුණු ‘‘2025 සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය‘’ තුළ මෙම කරුණු සඳහන්ව තිබේ.
මෙහිදී අදහස් දක්වා ඇති මහ බැංකු අධිපතිවරයා, වඩාත් ශක්තිමත් වූ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව මත පදනම්ව විදේශීය අංශය 2024 වසරේදී එහි ධනාත්මක වර්ධනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සමත් වූ බව පවසා සිටියි.
එසේම ගෙවුම් තුලන තත්වය ශක්තිමත් වී ඇති බවත්, ශ්‍රී ලකාවේ මෑත ඉතිහාසයේ වාර්තා ගත ලෙස අඛණ්ඩව වසර දෙකකදී අතිරික්තයක් වාර්තා කරමින්, ජංගම ගිණුම 2024 වසරේදීද අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයිද මෙහි සඳහන් වෙයි.
මේ අතර මහ බැංකු පනතේ නියම කර ඇති පරිදි, නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය 2024 වසරේදීද අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලද බවද මහ බැංකුව පවසයි. ඒ අනුව ශුද්ධ විදේශ විනිමය ලැබීම් සහ ඉහළ ගිය වෙළෙඳ පොළ අපේක්ෂාවන් මගින් මෙහෙයවනු ලැබූ ශ්‍රී ලංකා රුපියල 2024 වසරේදීද අතිප්‍රමාණයවීමක් වාර්තා කිරීමත් සමග වැඩි ස්ථාවරක්ද පෙන්නුම් කර තිබේ.
එසේම සිය නීතිමය රාමුවට අනුකූලව, සංචිත ගොඩනැගීම සහ විනිමය අනුපාතිකයේ අධික විචලනය අවම කිරීම අරමුණු කරගත් මැදිහත්වීම් සමගින් බාහිර කම්පනවලට එරෙහිව ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියාකිරීම සඳහා වෙළෙඳ පොළ විසින් තීරණය කෙරෙන සහ නම්‍යශීලී විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීමට මහ බැංකුව කැපවී සිටින බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.