වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බවත් 2025 වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම සංචාරක කර්මාන්තයේ ප්‍රධාන අරමුණ බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) පැවැසීය.
ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ කැපවීම සහිත දක්ෂ කණ්ඩායමක් සංචාරක කර්මාන්තයට අවශ්‍ය බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැම පියවරකින්ම කඩිනම් ප්‍රතිඵල අත්කර ගත යුතු බව ද කීවේය.
රට වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීමට තමන් සූදානම් කී බව හෙතෙම එම තීරණවල ප්‍රතිඵල රටට සහ ජනතාවට හිමි කරදීමට නිලධාරීන් කැපවෙනු ඇතැයි ද කීය.
සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු කීවේය.
ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි යැයි කී ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්ක ගත වැඩපිළිවෙළක් සැලැසුම් කරන්නැයි ද මෙහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලු සහ එහි ප්‍රවර්ධනයට ගත යුතු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදි නිලධාරීන් සමඟ පුළුල්ව සාකච්ඡා කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද කීය.
“මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැපයෙන පහසුකම් වැඩිදියුණු කරන්න ඕනෑ. ගුවන් තොටුපොළේ සිටම පහසුකම් විධිමත් විය යුතුයි. සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීමේ සහ එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක් ද අවශ්‍ය කර තිබෙනවා.
දේශීය ආයුර්වේද ක්‍රම සංචාරකයන්ගේ දැඩි ප්‍රසාදයට ලක්ව තිබෙනවා. මුහුදු රළ ක්‍රීඩා, ශ්‍රී ලංකාවේ තේ ඇතුළු මෙරටට සුවිශේෂ සහ අනන්‍ය වූ සංචාරක ආකර්ෂණය දිනා ගත් ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට ප්‍රමුඛත්වය දීම අත්‍යවශ්‍යයි.
සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන යා යුතුයි. සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ද විධිමත් යාන්ත්‍රණයක අවශ්‍යතාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරයට සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කිරීමට තානාපතිවරුන් මගින් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.
ශ්‍රී ලංකන් ඇතුළු ගුවන් සේවා ගුණාත්මක සේවා ලෙස වැඩිදියුණු කළ යුතුයි. ආයතන 04 ක් ලෙස ක්‍රියාත්මක සංචාරක මණ්ඩලය එක් කරමින් සියලු ආයතන මනා සම්බන්ධීකරණයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි. එය ඉතාම වැදගත්.
ඝෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙන් සංචාරකයන් වැඩි වශයෙන් ගන්න පුළුවන්. යුරෝපා රටවල් ඉලක්ක කොට ඝෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වෙලා තිබෙනවා.
සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රය පිළිබද උපාධි හදාරන සිසුන්ට හෝටල් පාසලේ පුහුණුවක් දීමෙන් හෝටල් කළමනාකරුවන් බිහිකිරිමේ හැකියාවක් ද තිබෙනවා.
සංචාරක පොලීසිය යළි ක්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා.
ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නීතිරීතිවල වෙනස් කිරීමේ අවශ්‍යතාවක් ද තිබෙනවා. අනවශ්‍ය අනුමැතීන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අපි අවධානය යොමු කළ යුතුයි”.
කාර්මික අපනයන සහ අයෝජන ප්‍රවර්ධන සහ සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඞ් මහත්මිය, සංචාරක ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්.එස්. ප්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීහු මෙම රැස්වීමට එක්ව සිටියහ.
055