(අංජුල මහික වීරරත්න)

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රටේ තරුණ පරම්පරව ද එකතු කර ගෙන අලි ඇතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහනකට විපක්ෂ නායකවරයා ලෙස නායකත්වය ලබා දෙන්න සූදානම් බව ද ප්‍රේමදාස මහතා කීය.

කාවන්තිස්සගේ මිය යෑම ගැන විනිවිදභාවයෙන් යුක්ත ව දේශීය ව හා විදේශීය විශේෂඥයන් මූලික කර ගෙන විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවත් ඒ තුළින් නිවැරදි කරුණු අනාවරණය කළ හැකි නිසා දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත මරණ පරීක්ෂණයක් කඩිනමින් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සියඹලාන්ගමුවේ දී මියගිය කාවන්තිස්ස මහ ඇතාට අවසන් ගෞරව දැක්වීමට අද එම ස්ථානයට පැමිණි අවස්ථාවේදීය. පරිසරවේදියකු හා සත්වවේදියකු ලෙසත් වනජීවී ඡායාරූප ශිල්පියකු ලෙස තමාට ඇති අත්දැක්වීම් අනුව කාවන්තිස්ස යනු වනයේ ජීවත් වෙන සාමාන්‍ය ඇතකු නොව වනයේ සිටින මහසෙන් අග්බෝ සැන්ඩෝ වැනි විශාලම ඇතුන් අතරින් එක් ඇතෙකු බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.

වසර ගණනාවකට පෙර මේ ඇතා සියඹලාන්ගමුව වැව ඉසමත්තේ දී හමුවූ අවස්ථාවේ දී තමා විසින්ම මොහුට කාවන්තිස්ස ලෙස නම් තැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.