HNB Finance වෙතින් රු.බි. 1.19ක් වටිනා හිමිකම් නිකුතුවක්


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගමක් වනHNB Finance PLC  සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා හිමිකම් නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි.

සමාගමෙහි ප්‍රාග්ධන තත්වය ඉහළ නැංවීම සහ ණය පහසුකම් ලබාදීමේ අවශ්‍යතාව සඳහා වන අරමුදල රැස් කරගැනීම වෙනුවෙන් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි. මෙහිදී HNB Finance PLC සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් (HNBF.N0000)  සඳහාම සහ නිෂ්ඡන්ද කොටසක් (HNBF.X0000) සඳහාම මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව පැවසෙයි.

සමාගම සඳහන් කරන ආකාරයට දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 24ක් සඳහාම අලු‍තින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 5ක් නිකුත් කෙරේ. ඒ අනුව නිකුත් කෙරෙන සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 296,120,963 කි. 

එසේම සෑම නිෂ්ඡන්ද කොටස් 24ක් සඳහාම අලු‍තින් නිෂ්ඡන්ද කොටස් 5ක් නිකුත් කෙරෙන බව සමාගම පවසයි. ඒ අනුව නිකුත් කෙරෙන නිෂ්ඡන්ද කොටස් සංඛ්‍යාව 62,1125,000කි. මෙහිදී ඡන්ද හිමි කොටසක් රුපියල් 3.40ක් බැගින්ද නිෂ්ඡන්ද කොටසක් රුපියල් 3.00 ක් බැගින්ද මිල කෙරී තිබේ.

ඒ අනුව ඡන්ද හිමි කොටස් නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන වටිනාකම රුපියල් 1,006,811,274.2 කි. එසේම නිෂ්ඡන්ද කොටස් නිකුතුව හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන වටිනාකම රුපියල් 186,375,000 කි. මෙම හිමිකම් නිකුතු දෙක හරහාම රැස් කිරීමට බලාපොරොත්තු වන සමස්ත වටිනාකම රුපියල් 1,193,186,274.2 කි. 

අද වනවිට HNB Finance PLC සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 223,545,481.00 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 1,421,380,624ක සහ නිෂ්ඡන්ද කොටස් 298,200,000ක නියොජනයෙන් සමන්විත වෙයි.