SLT-MOBITEL, 2021 වසරේ ප්‍රථම මාස 6 ක කාලසීමාව සඳහා මූල්‍ය ප්‍රතිඵල නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල වලට අනුව, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව, සමූහයේ ලාභය සියයට 29.9 ක වර්ධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 6 ක් ලෙස වාර්තා කර ඇතැයි නිව්දනයක් නිකුත්කරමින් එම සමාගම කියයි.
ආංශික පිරිවැය ඒකාබද්ධකරණය, සමූහ මට්ටමේ අපතේ යාම් අවම කරලීමේ වැඩසටහන, ඉවතලන අබලි ද්‍රව්‍ය මුදල් බවට පරිවර්තනය කිරීම, මෙහෙයුම් පිරිවැය කළමනාකරණය ආදී සාධක මෙම වර්ධනාත්මක වාර්තාකරණයට හේතු වී ඇත.
කොරෝනා වසංගතය හමුවේ පවා ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට යොමුකළ අවධානය හේතුවෙන්, පෙර වසරට සාපේක්ෂව අදාළ කාලසීමාව තුළ SLT සමූහයේ ආදායම රු. බිලියන 49.9 දක්වා, එනම් සියයට 13.3 කින් වර්ධනය විය. මෙහෙයුම් ඉපයුම් ආන්තිකයද පෙර වසරට සාපේක්ෂව සියයට 10 කින් වර්ධනය වී, රු. බිලියන 19.6 ක් ලෙස වාර්තා වී ඇත. මෙහෙයුම් ලාභය 2020 වසරේ මුල් මාස 6 ට සාපේක්ෂව සියයට 4.2 කින් වර්ධනය වී, රු. බිලියන 7.2 ක් ලෙස සටහන් වී ඇත.
2021 වසරේ දෙවැනි කාර්තුව සඳහා සමූහයේ ආදායම, පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 15.2 කින් වර්ධනය වී, රු. බිලියන 25.3 ක් බවට වාර්තා වී ඇති අතර, එමගින් මෙහෙයුම් ඉපයුම් ආන්තිකය සහ මෙහෙයුම් ලාභය පිළිවෙළින් රු. බිලියන 9.9 සහ රු. බිලියන 3.8 දක්වා වර්ධනය වී ඇත. සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 3.8 ක් ලෙස වාර්තා වන අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 40.7 ක වර්ධනයකි.
ශ්‍රී ලංකා රජයට සිය අඛණ්ඩ දායකත්වය ලබාදෙමින්, SLT- MOBITEL විසින් 2021 වසරේ ප්‍රථම අර්ධය තුළ ලාභාංශ, ඍජු සහ වක්‍ර බදු ලෙස රු. බිලියන 1.3 ක මුදලක් ගෙවන ලදී. එමෙන්ම මුහුදු සංදාම ජාලය, මූලික යටිතල පහසුකම් දැනට ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ෆයිබර් ඔප්ටික් ජාලය පුළුල් කිරීමේ වැඩසටහන, 4G කුලුනු සහ මූලික සන්නිවේදන මධ්‍යස්ථාන ආදිය සඳහා කරන ලද ආයෝජන ඇතුළුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් සම්බන්ධතා වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට උපකාරීවන දීර්ඝකාලීන යටිතල පහසුකම් පද්ධතිය සඳහා ආයෝජන සිදුකිරීමට ද සමූහය කටයුතු කර තිබේ.
“ SLT- MOBITEL යනු සැබැවින්ම ශ්‍රී ලාංකික දුරකථන සන්නිවේදන සමාගමක්. අපේ රටට සහ ජනතාවට සේවය කිරීමට අප එක සිතින් කැපවී සිටිනවා. එමෙන්ම රටේ ඩිජිටල් තාක්ෂණ භාවිතයේ ලුහුඬුතා අවම කිරීම සඳහා අවශ්‍ය ජාතික මට්ටමේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා විදුලි සංදේශ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට අප ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරනවා” යනුවෙන් SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
2021 වසරේ ප්‍රථම අර්ධය තුළ, සමූහයේ පරිපාලිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. (SLT) හි පිරිවැටුම සියයට 14.7 කින් වර්ධනය වී, රු. බිලියන 29 ක් ලෙස සටහන් වූ අතර, ඒ අනුව සමාගමේ බදු-පසු ලාභය ද සියයට 42.2 කින් වර්ධනය වී, රු. බිලියන 3.9 ක් ලෙස වාර්තා වී ඇත.
එමෙන්ම සමූහයේ ජංගම දුරකථන සේවා සමාගම වන මොබිටෙල් (පුද්.) සමාගම ද අදාළ කාලසීමාව තුළ කැපීපෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාල සේවාවන්හි වර්ධනය හේතුවෙන් 2021 වසරේ ප්‍රථම අර්ධය තුළ මොබිටෙල් සමාගමේ ආදායම ද්විත්ව ඉලක්කම් වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, කාර්යක්ෂම මෙහෙයුම් හා ප්‍රාග්ධන පිරිවැය කළමනාකරණය හේතුවෙන් සුවිශේෂී ලාභදායීත්වයක් සමග පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව එහි බදු-පසු ලාභය සියයට 47.7 කින් වර්ධනය වී තිබේ.