අංගමාර රෝගයෙන් බිබිල තක්කාලි වගාවට බැට


(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිල ප්‍රදේශයේ තක්කාලි වගාවලට අංගමාර නම් දිලීර රෝගයක් ව්‍යාප්තව ඇතැයිද, මේ හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇතැයිද ගොවීහු කියති.
 
අක්කර 100කට ආසන්න ප්‍රමාණයක තක්කාලි වගාවන්ට හානි වී ඇතැයිද ඔවුහු පවසති.
 
පසුගිය දිනවලදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙම රෝග වගාවන්ට බෝවී ඇතැයිද, තක්කාලි ගෙඩිවල කළු පුල්ලි හටගෙන විශාල වශයෙන් බිම පතිත වන බවද ගොවිහු කියති.

බිබිල ප්‍රදේශයේ තක්කාලි ගොවියෙකු වන සී. එස්. සූරියආරචිචි (68) මහතා   කියාසිටියේ සිය වගාවේ තක්කාලි ගෙඩි කුණුවී විනාශ වී ඇති බවයි.

දංවැහැර වැවෙන් ජලය සපයාගෙන වගාකටයුතු කළ 100ට අධික ගොවීන් පිරිසක් වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් මෙවර තක්කාලි වගාවට යොමුවී සිටියද, වැසි සහිත කාලගුණය හේතුවෙන් වගාවන්ට පොහොර යෙදීමට බාධා එල්ල වූ බවද ඔවුහු පවසති.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 30 ත් 40 ත් අතර පැවතීම හේතුවෙන් සිය අස්වැන්නෙන් ද කිසිදු ප්‍රයෝජනයක් ලබාගත නොහැකි බව ද ගොවීහු කියාසිටිති.