අරවින්ද හැටන් ප්ලාන්ටේෂන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වැවිලි සමාගමක් වන හැටන් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස අරවින්ද ද සිල්වා මහතා පත් කර ඇතැයි එම සමාගම පවසයි. ජනවාරි 16 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ඒ මහතා සමාගමෙහි ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ.
1996 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වන අරවින්ද ද සිල්වා මහතා මේ වනවිට කැපී පෙනෙන ආයෝජකයකු බවට පත්ව සිටියි. ඒ අතරින් ඔහු ලොව රටවල් රැසකම යටිතල පහසුකම් සංවර්ධනය සහ මෝටර් රථ ක්ෂේත්‍රයේ වඩාත් සක්‍රීය ආයෝජකයකු ලෙස කටයුතු කරයි. එසේම ඔහු සිය ආයෝජන ලොජිස්ටික් සහ දේපළ වෙළෙඳාම් අංශ වෙතත් ව්‍යාප්ත කර තිබේ. 
මෙම ආයෝජන යටතේ ඔහු පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ඇම්බියොන් කැපිටල් පීඑල්සී සමූහයෙහි සියයට 27.3 ක කොටස් ප්‍රතිශතයක් මිලදී ගැනීමට කටයුතු කළේය. මෙම ඇම්බියොන් කැපිටල් සමූහය අද වනවිට පාවහන්, පෝසිලේන් භාණ්ඩ, ආයෝජන, දේපළ වෙළෙඳාම්, මූල්‍ය සේවා සහ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සේවාවල සිය ව්‍යාපාර කටයුතු සිදු කරයි.