(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම පැණි දොඩම් අස්වැන්න මෙවර සරුවී තිබුණද ඒ සඳහා සාධාරණ මිලක් නොමැති බව දොඩම් වගාවේ නිරත නවගත්තේගම කාන්තාවන් පිරිසක් මැසිවිලි නගති.
පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම පැණි දොඩම් වගාකරුවන් පිරිසක් සිටින ප්‍රදේශයක් ලෙස නවගත්තේගම මහ අන්දරවැව ප්‍රසිද්ධියක් උසුලයි.
මෙම ප්‍රදේශයේ ගම්මාන කිපයක් කේන්ද්‍ර කර ගනිමින් අක්කර 100 කට ආසන්න බිම් ප්‍රමාණයක දොඩම් වගාකරන බව වගාවේ නිරත කාන්තාවන් කියති.
නවගත්තේගම දොඩම් අස්වැන්න බහුලව පවතින මේ සමයේ මිල නොසිතු අයුරින් පහත වැටීමෙන් තම අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බව මෙම කාන්තාවන් පවසති.
මේ පිළිබඳව අදහස් දැක්වූ නවගත්තේගම මහ අන්දර වැව පදිංචි ප්‍රියංකා අධිකාරි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.
“නවගත්තේගම පැණි දොඩම් වගාව පවත්වාගෙන යන්නේ කාන්තාවන්. මොකද නිවෙස් වල රැඳිලා කරන්න පුළුවන් මේ පරිසරයට ගැලපෙන වගාවක් නිසා. අනික් කරුණ තමා මේ පළාතේ වල් අලින්ගෙන් සිදුවන හානි මේ දොඩම් වගාවන්ට එල්ල වීමක් සිදු වන්නේ නැති නිසාත් කාන්තාවන් වැඩි පිරිසක් තමන්ට තිබෙන බිම් කොටසේ දොඩම් වගා කරන්න පුරුදු වෙලා සිටිනවා‘‘ යැයි ඇය පැවසුවාය.
මෙහිදී අදහස් දැක් වූ එච්.එම්.නිලුකා කුමාරි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.
“ අපේ දොඩම් ගස් කිසිම නියගයකට මැරි නොයන ආකාරයට අපි සකස් කරලා තමයි වගා කරන්නේ. ඒ දිවුල් ඇට පැල කරලා වසර දෙකකින් විතර දිවුල් ගහ කපලා එයට දොඩම් බද්ද කරනවා.මෙහි විශේෂත්වය තමා දොඩම් ගස් විශාල නොවි පදුරු ගස්සවා ගෙන හොඳ අස්වැන්නක් ලබා ගන්න.
ඇත්තමට අපේ දොඩම් රසයි. හොඳ ඉල්ලුමක් තිබුණත් නිසි මිලක් නැති කම තමයි ගැටළුව. දොඩම් හැදිගෙන එද්දි පළමු මුරයේ ගෙඩි රුපියල් 20 ත් 15 අතර මිලකට යනවා, ඉන් පස්සේ රුපියල් 5, 10 ටවත් ලබාදෙන්න බැහැ පස්සේ මිල නැතුව අපි අසරණ වෙනවා‘‘ යැයි ඇය පැවසුවාය.