(බිඟුන් මේනක ගමගේ)
හෝටල් කර්මාන්තයේ කඩාවැටීමෙන් කුකුළු මස් හා බිත්තර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද ඉල්ලුමේ පහළ වැටීම නිසා කුකුළු පැටවුන් 40% ක් පමණ මරා වළදමන්නට සිදුව ඇතැයි ද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ඇණවුම් නොමැති පරිසරයක කුකුළු පැටවුන් නඩත්තු කිරීමට අමතර පිරිවැයක් දරන්නට සිදුවන්නේ යැයි ද ඊට එකම විකල්පය පැටවුන් මරා වළදැමීම පමණකැයි ද ගුණසේකර මහතා කීය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු හෝටල්වලින් කුකුළු ව්‍යාපාරිකයන්ට තිබූ ඇණවුම්වලින් 50% ක් පමණ ක්ෂණිකව අවලංගු වී යැයි ද මේ නිසා මස්, බිත්තර හා කුකුළු ආහාර සැපයුම්කරුවන් ආර්ථික වශයෙන් දැඩි අර්බුධයකට පත්ව ඇතැයි ද ගුණසේකර මහතා අවධාරණය කළේය.
සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන අප්‍රේල් මාසයේ මුල් සතියේදී කුකුළු මස් අස්වැන්න ලබාගත් ව්‍යාපාරිකයන් දෙවැනි අස්වැන්න ලබාගැනීමට සැලසුම් කර තිබුණේ මැයි මාසයේ මුලදී යැයි කී හෙතෙම හෝටල් ඇණවුම් අවලංගු වීම නිසා දෙවැනි අස්වැන්න විකුණාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද පැවසීය.
දැනට ලංකාවට කුකුළු මස් විදේශයන්ගෙන් ආනයනය නොකරන්නේ යැයි ද මෙම තත්ත්වයට විසඳුමක් නොමැති වුවහොත් අගෝස්තු මාසය වනවිට කුකුළු මස් ආනයනය කිරීමට සිදුවනු ඇතැයි ද ගුණසේකර මහතා සඳහන් කළේය.