ඇමැති ප්‍රසන්නගෙන් ආයෝජන මණ්ඩලයට උපදෙස්


(නාලක සංජීව දහනායක)

මෙරටට පැමිණෙන ආයෝජකයන්ට ආයෝජන අවස්ථාවන් සිදුකිරීමට අවසර ගැනීමේදී සිදුවන ප‍්‍රමාදයන් අවම කිරීම සඳහා කඩිනමින් නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන,සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇත. 

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා තාවකාලිකව අන්තර්ජාලය ඔස්සේම අනුමැතිය ලබාදීමටත් පියවර ගෙන තිබේ.

කිසියම් ආයෝජකයකුට මෙරට ආයෝජනය කිරීමේදී තවත් රාජ්‍ය ආයතන රාශියක අනුමැති ලබාගැනීමට සිදුවේ. ඒ ඒ ආයෝජනයේ ස්වභාවය අනුව එලෙස අනුමැතිය ලබාගත යුතු ආයතන සංඛ්‍යාව 28 යැයි හඳුනාගෙන ඇත.

රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කොළඹ මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය, භූ විද්‍යාත්මක සමීක්‍ෂණ සහ පතල් කාර්යංශය, ආගම හා විගමන දෙපාර්තමේන්තුව, නගර සභා පළාත් පාලන ආයතන, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය” ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීම් සහ සංවර්ධන සංස්ථාව, වනජීවි දෙපාර්තමේන්තුව, විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය, ආරක්‍ෂක අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුව, ජාතික අන්තරායන ඖෂධ පාලන දෙපාර්තමේන්තුව එලෙස හඳුනාගෙන ඇති ආයතන වේ.