ඉන්දියාවේ තීරණයෙන් ලොකු ළූණු මිල ඉහළට


(විනීතා එම් ගමගේ)
     
ඉන්දියාව ලොකු ළූණු අපනයනය තහනම් කළ පසු චීනය, තුර්කිය, ඊජිප්තුව, නෙදර්ලන්තය, ඉරානය හා පකිස්ථානය යන රටවලින් ශ්‍රී ලංකාවට ලොකු ළූණු ආනයනය කළ බවත්, පවතින කොරෝනා වයිරසය පිළිබඳ ප‍්‍රශ්නය හේතුවෙන් මේ වනවිට රටවල් ගණනාවකින් ළූණු ආනයනය නවතා ඇතැයි ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
 
මේ හේතුවෙන්,  වෙළඳපොලේ ලොකු ළූණු මිල ගණන් යළි ඉහළ යමින් පවතින අතර, අද (16) වනවිට ලොකු ළූණු කිලෝව රුපියල් 280 ඉක්මවා ඉහළ ගොස් තිබිණි.
 
ඉන්දියාව පැනවූ ළූණු අපනයන තහනම මේ වනතුරු ඉවත් නොකිරීමත් අනෙක් රටවලින් ළූණු ආනයනය අත්හිටුවා තිබීමත් හේතුවෙන් මෙසේ මිල ඉහළ යමින් පවතින බව හෙතෙම සඳහන් කළේය.
 
බොහෝ රටවලින් ළූණු ආනයනය කිරීමට දින 45කට ආසන්න කාලයක් ගතවන බව කී ඔහු එය ද පවතින ඉල්ලූමට අනුව සැපයීමට නොහැකි ප‍්‍රශ්නයක් යැයි කීය.
 
කෙසේ වෙතත් මේ වනවිටත් පකිස්ථානයෙන් ළූණු ආනයනය කරන බව කී එම ප‍්‍රකාශකයා ඉන්දියාවේ මේ වනවිට ළූණු අස්වනු වෙළඳපොළට එමින් ඇති බැවින් පනවා ඇති අපනයන තහනම ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
 
මේ වනවිට ඉන්දියාවේ ළූණු මිල අඩු වෙමින් ඇතැයි පැවසූ ඔහු තවදුරටත් අඩුවනවිට අපනයනයට අවසර ලැබෙනු ඇති බවත් ඉදිරි සතියේ එම තහනම ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන් කළේය.