ඉන්දීය සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීමට වැඩසටහනක්


( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාවට ඉන්දීය සංචාරකයන් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ ප‍්‍රාන්ත තුනක  නව සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත.
 
ඒ අනුව ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්, මහාරාෂ්ට‍්‍ර සහ තමිල්නාඩු ප‍්‍රාන්ත වල එම ඉන්දීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කරන සංචාරක පැකේජ හඳුන්වාදීමට අපේක්ෂා කරන බව එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී තෙදින කාලයකදී නවාතැන් සඳහා පමණක් ඩොලර් 99ක් අය කෙරෙන සංචාරක පැකේජ හඳුන්වාදීමට සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශ බලාපෙරොත්තු වන අතර එවැනි පැකේජ දස දහසක් අවම වශයෙන් අලෙවි කිරීමට කාර්යාංශය අපේක්ෂා කරන බවද එම නිලධාරියා කීය.
 
 
මෙවැනි ආකර්ශනීය සංචාරක පැකේජ සඳහා ඉන්දීය ජාතිකයින් ගෙන් වැඩි ඉල්ලූමක් පවතින බැවින් මෙම නව සංචාරක පැකේජ වලට ඉන්දීය සංචාරකයින් වැඩිපුර ආකර්ෂණය වනු ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කියා සිටී.
 
සාමාන්‍යයෙන් පසුගිය වසරේ දී මෙරට පැමිණි එක් විදෙස් සංචාරකයෙකු විසින් ඇමෙරිකා ඩොලර් 174ක් මුදලක් වැය කරන බවට සංචාරක දත්ත වලින් හෙළි වී ඇති අතර මෙම නව සංචාරක පැකේජ හඳුන්වා දීමේ  වැඩසටහන මගින් රුපියල් බිලියන 1.3ක් උපයා ගැනීමට අපේක්ෂිත යැයි එම කාර්යාංශය වැඩිදුරටත් කියා සිටී.
 
 පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 23ක්  පැමිණි අතර ඉන් වැඩිම පිරිසක් පැමිණියේ ඉන්දියාවෙනි.