එළවළු මිල බහී


(කාංචන කුමාර ආරියදාස)
 
මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමග  එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
 

 මේ දිනවල වැඩි වශයෙන්  ආර්ථික  මධ්‍යස්ථානයට  ලැබෙනුයේ පහතරට  එළවළු වර්ගය. ඊට අමතරව බෝංචි විශාල වශයෙන් ලැබෙන බව ගොවීන් පෙන්වා දෙති. පසුගිය දින තුනක කාලයක සිට රුපියල් විස්සේ සිට රුපියල්  40 දක්වා මිලකට  බෝංචි මිල පහත වැටීමත් සමග සමස්ත එළවළු මිල පහත වැටීම සිදුවන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

අනෙකුත් එළවළු වර්ග විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන ලැබුණද ගොවීන් ඉහළ මිලක් ප්‍රකාශ කර සිටියත් ඒවා අලෙවි නොවීම නිසා ඇතැම් අවස්ථාවන්හි නැවත නිවෙස් වලට එළවළු රැගෙන යෑමට පවා සිදුව ඇතැයි ගොවීහු කියති.

 
 කැරට් ලීක්ස් බීට් යන එළවළු වර්ග කිහිපය හැරෙන්නට අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 10 සිට රුපියල් 50 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වීම සිදු කෙරෙන බවත් බොහෝ එළවළු අලෙවි නොවන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.
 
විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු තොග ලැබීම නිසා එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ අඩු වීමක් පෙනෙන්නට තිබීම එළවලු මිල පහත යෑමට තවත් හේතුවක් බව වෙළෙඳුන් පෙන්වා දෙති.

කෙසේ වෙතත් තවත් දින ගණනාවක් යන තුරු එළවළු මිල මෙයාකාරයෙන් පහත වැටෙනු ඇති බව ව්‍යාපාරිකයෝ විශ්වාසය පළ කරති.
 
කැකිරි, පිපිඤ්ඤා, වැටකොලු, වම්බටු, පතෝල, කරවිල, බණ්ඩක්කා  තක්කාලි ආදී එළවළු වර්ගවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 22 දින අලුයම සිට ම පිරී ඉතිරී ගොස් ඇති අයුරු ද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.