කෙසෙල් කඳෙන් යෝගට් කෝප්ප


(විනීතා එම් ගමගේ)

ප්ලාස්ටික් යෝගට් කෝප්ප වෙනුවට ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සැකසූ යෝගට් කෝප්පයක් හඳුන්වා දීමට දේශිය තරුණ ව්‍යවසායකයෙක් ඉදිරිපත්ව ඇති අතර එම යෝගට් කෝප්ප මිල දී ගැනීමට පැලවත්ත ඩයරි ප්‍රොඩක්ට් ආයතනය ගිවිසුමකට එළැඹ ඇතැයි කර්මාන්ත අමාත්‍යංශය කියයි.
 
මෙම යෝගට් කෝප්ප නිපදවීම සඳහා යොදාගනු ලබන්නේ කෙසෙල් කැන කපා ඉවත් කරගත් පසු ඉවත දමන කෙසෙල් කඳන් වන බැවින් සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස මෙම නිෂ්පාදනය හැඳින්විය හැකි යැයි කර්මාන්ත අමාත්‍යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
මෙම නිෂ්පාදනය වෙළඳ පොලට හදුන්වා දෙනු ලැබ ඇත්තේ මා ප්‍රොඩක්ට් ආයතනයේ හිමිකරු වන මේනක ආරියරත්න මහතා විසින් වන අතර එම ඇසුරුම් සඳහා වෙළඳපොල සකසා දීමට පියවර ගන්නා බව කර්මාන්ත අමාත්‍යවරයා පැවැසී යැයි ද හෙතෙම සඳහන් කළේය.
 
සාමාන්‍යයෙන් මාසයකට ප්ලාස්ටික් යෝගට් කෝප්ප ලක්ෂ 100 වඩා මෙරට නිෂ්පාදනය වන බවත් ඒ අනුව මසකට අති විශාල ප්‍රමාණ්‍යෙක් පරිසරයට එක් වන බවද කී එම නිලධාරියා මෙම පරිසර විනාශය මේ තුලින් නිමා කරගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද පැවැසීය.
 
ආහාර ඇසුරුම් සඳහා වන ඇසුරුම් විශාල ප්‍රමාණ්‍යක් මේ යටතේ වෙළඳ පොලට ඉදිරිපත් කිරීමට තමන් සූදානම් බව ආරියරත්න මහතා අමාත්‍යවරයා හමුවේ පැවැසූ බවත්  පරිසර හිතකාමි නිශ්පාදන වෙළඳපොලට එක්කරන කර්මාන්තකරුවන්ට අමාත්‍යංශයේ උපරිම සහය ලබාදෙන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.