(හර්ෂණ තුෂාර සිල්වා)
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාර දීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල අද (8) 182.57ක් ලෙස සටහන්ව තිබිණි.
ඒ අනුව සඳුඳා 183.07ක් ලෙස දැක්වුණු විකුණුම් මිල ඊයේ තවදුරටත් පහළ ගිය අතර ශ්‍රී ලංකා රුපියලේ අගය වැඩි විය.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැනුම් මිල අද (8) 178.90ක් ලෙස සටහන් වී තිබිණි.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් නාම යෝජනා බාර දීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය නැවත වරක් ඉහළ යෑම ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද දැක්වේ.
කෙසේ නමුත් දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කරන තුරු ආයෝජකයන් විමසිල්ලෙන් බලා සිටින බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
පසුගිය සතියේ සිකුරාදාට (4) වඩා සඳුඳා (7) ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බවත් මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 0.97 % කින් ඉහළ ගිය බවත් රොයිටර් පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල පසුගිය සතියේ බදාදා (2) 184.03ක් ලෙසත් බ්‍රහස්පතින්දා (3) 183.55ක් ලෙසත් සිකුරාදා (4) 183.21ක් ලෙසත් මේ සතියේ සඳුඳා (7) 183.07ක් ලෙසත් දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව පසුගිය සතියේ සිකුරාදා දක්වා මේ වසරේ ගත වූ කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 0.6% කින් ඉහළ ගොස් තිබේ.
එම කාලයේදී ස්ටාර්ලිං පවුමට සාපේක්ෂව 3.3% කින් ද යුරෝවට සාපේක්ෂව 4.8%කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව 2.2% කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් ජපානයේ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.7% කින් පහළ වැටී තිබේ.