ජනාධිපති- චීනයේ BYD සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්


භානුක අමරසිංහ


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා සිදු කළ චීන නිල සංචාරයේදී එරට ප්‍රමුඛතම ගෝලීය සමාගම් අතර සිදුකළ සාකච්ඡා මාලාව යටතේ, නව බලශක්ති මෝටර් රථ (NEV) නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන BYD සමාගමේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ. 
ඒ අනුව මෙය මෙරට තුළ නවෝත්පාදන සහ තිරසාර සංවර්ධනය සඳහා දක්වන දායකත්වයක් ලෙස සඳහන්ව තිබේ. මෙහිදී ලබන පෙබරවාරි 01 වැනිදා සිට සිදුකිරීමට බලාපොරොත්තු වන වාහන ආනයන සීමා ලිහිල් කිරීමට ගෙන ඇති රජයේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරී තිබේ. එහිදී වඩාත් නවීනතම පරිසර හිතකාමී විසඳුම් සහ යටිතල පහසුකම් රට තුළ ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි සඳහන් වෙයි.
විශේෂයෙන්ම ලොව ප්‍රමුඛතම නව බලශක්ති මෝටර් රථ (NEV) නිෂ්පාදකයකු ලෙස, BYD සමාගම මෙම සීමා ලිහිල් කිරීමත් සමගින්ම සිය රථ ශ්‍රී ලංකාව වෙත අපනයනය කිරීමට සූදානමින් සිටියි. එහිදී ශ්‍රී ලංකාව තුළ වඩාත් තිරසාර ප්‍රවාහනයක් ඇති කිරීම සඳහා එම සමාගම සහයෝගය ලබාදීමටද බලාපොරොත්තුව සිටින බව පවසයි. 
ජනපතිවරයා සිදුකළ මෙම සංචාරයේදී සමාගම සතු ශුන්‍ය-විමෝචන තාක්ෂණය සම්බන්ධයෙන් ඇති සුවිශේෂී විශේෂඥතාව ප්‍රදර්ශනය කර පෙන්වීමටත් එම නියෝජිතයන් පියවර ගෙන ඇත. 
BYD සමාගම අද වනවිට John Keels CG Auto සමාගම යටතේ ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් පවත්වා ගෙන යයි. මෙම සමාගම ජෝන් කීල්ස් සමූහය සහ CG Corp Global  සමාගම අතර ඇති කරගත් ඒකාබද්ධ හවුල්කාරීත්වයක් යටතේ පිහිටුවා ගත් සමාගමකි.