ජපන් යෙන් අගය ඉහළ යාමෙන් ජපන් වාහන මිල ඉහළට


(නිමල කොඩිතුවක්කු)

රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.

ජපන් යෙන් එකක අගය රුපියලයි සත හැටතුනේ සිට රුපියලයි සත හැත්තෑඅට දක්වා සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වාහනවල සී. අයි. එෆ් වටිනාකමින්  සියයට 10 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට තුළ වැඩි වශයෙන් අලෙවි වන  සුසුකි  වැගන් ආර් මෝටර් රථයක් රුපියල් 1,70,000 කින්ද  ටොයටා පැසෝ මෝටර් රථයක් රුපියල් 1,60,000 කින්ද, ටොයටා විට්ස්  මෝටර් රථයක් රුපියල් 2 40 000 කින්ද, ටොයටා ඇක්සියෝ  මෝටර් රථයක් රුපියල් 3 75 000 කින්ද,  ටොයටා ප්‍රිමියෝ මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා රයිස් මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා සී.එච්. ආර් මෝටර් රථයක් රුපියල් 4 70 000 කින්ද, ටොයටා වෙසල් මෝටර් රථයක් රුපියල් 4 00 000 කින්ද, ටොයටා ග්‍රේස් මෝටර් රථයක් රුපියල් 3 50 000 කින්ද මිල ඉහළ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙයට සාපේක්ෂව ආනයනික සියලුම ජපන් මෝටර් රථවල මිල ඉහළ යනු ඇතැයිද රන්ජන් පීරිස් මහතා පැවැසීය.

මේ වනවිට වෙළෙඳපොළේ පවතින මෝටර් රථ පැරණි මිලටම ලබාගැනීමට අවස්ථාව ඇති බැවින් අලුතින් වාහන මිලදී ගැනීමට සිටින පාරිභෝගිකයන් හැකි ඉක්මනින් වාහන මිලදි ගන්නා ලෙස රන්ජන් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.