(තිළිණි ද සිල්වා )
ලංකාවට පැමිණෙන තරුණ ඉන්දියානු සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට හෝටල්වල වැඩිවශයෙන් රාත්‍රී සමාජ ශාලා ආරම්භ කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ කැසිනෝ හල් ඉන්දියානුවන්ට ආකර්ෂණිය වන බවට කිසිදු විවාදයක් නැතැයි සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකාව ඇතුළත සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය හා හෝටල් සංගමය එක්ව ඉන්දියානු සංචාරකයින් ඉලක්ක කරගනිමින් හඳුන්වා දෙන ලද විශේෂ සංචාරක පැකේජ දියත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මෙසේද කීය.
“මේ ඉන්දියානු පැකේජය ඉතා වැදගත්. ඉන්දියානුවෝ දිගටම ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා නම්, අපිට වෙන කාගෙන්වත් යැපෙන්න ඕන වෙන්නේ නැහැ. ඔවුන්ව ආකර්ෂණය කර ගැනීමට අපිට යම් යම් දේ එකතු කරන්න වෙනවා.“
මේ පැකේජ අපි චීනයට හා මදපෙරදිග ඇතුළු අනෙකුත් රටවලටත් ගෙනයාමට බලාපොරොත්තු වෙනවා.අපේ කැසිනෝ ඉන්දියානුවන්ට ආකර්ෂණීය බවට කිසිදු විවාදයක් නැහැ. නමුත් ඉන්දියානු බලධාරීන්ගෙන් තිබෙන චෝදනාවක් තමයි, කොළඹ නගරය හා පිටපළාත් තුළ ප්‍රමාණවත් විනෝදාස්වාද ක්‍රියාකාරකම් නැති බව. මේ නිසා ඔවුන් තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි අපත් සමඟ තරඟකාරී රටවලට යනවා.
මම හෝටල්කරුවන්ගේ සංගමයට කිව්වා, ඔවුන් හෝටල්වල නයිට් ක්ලබ් ආරම්භ කළ යුතුයි. මම දන්නේ නැහැ ඇයි ඔවුන් එය නොකරන්නේ කියලා. මෙය තරුණ ඉන්දියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමට තිබෙන එක ක්‍රමයක්.“
තරුණ ඉන්දියානුවන් ආකර්ෂණයට රාත්‍රී සමාජ ශාලා අවශ්‍යයි
Recommended Articles