තානාපති කාර්යාලය පමණ ඉක්මවා කලබල වෙලා


 

(හර්ෂණ තුෂාර සිල්වා)

ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ කොළඹ යුරෝපීය තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනය හදිසි සහ පමණ ඉක්මවා යෑමක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (26) පැවැසීය.

ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීමට මැදිව සිටින අවස්ථාවක, යුරෝපා සංගමය සහ කොළඹ පිහිටි යුරෝපා කලාපයට අයත් රටවල් කිහිපයක තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනය හදිසි හා කලබලකාරී ප්‍රතිචාරයක් යැයි ද හෙතෙම කීය.

මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කරුණු සඳහන් කළේය.

රටක ගෙවුම් ශේෂ අර්බුදයක් පවතින අවස්ථාවක ඒවා විසඳා ගැනීම විවිධ පියවර ගැනීමට ලෝක වෙළෙඳ සංවිධානයේ නීති රෙගුලාසිවලින් ද අවසර දී ඇතැයි ඔහු එහිදි කීය.

අනෙක් අතට මෙවැනි ප්‍රශ්න අදාළ පාර්ශව සමඟ ප්‍රමාණවත් අයුරින් සාකච්ඡා කිරීමෙන් විසඳා ගත හැකි බව ද හෙතෙම කීය.

විදේශ අමාත්‍යාංශය හා එම බලධාරීන් යුරෝපා සංගමය හා අදාළ පාර්ශව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඒ තුළින් මෙය විසඳා ගත හැකි බවත් අධිපතිවරයා කීවේය.

රට මේ වනවිට මුහුණ දී ඇති අර්බුද සැලකිල්ලට ගැනීමේ දී මේ ප්‍රශ්නය කෙටිකාලීන එකක් යැයි ද හෙතෙම කීය.