(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දඬු ලේනුන් සහ වඳුරන් හානි සිදුකිරීම හේතුවෙන් වසරකට පොල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වන බව පුත්තලම පොල් වගාකරුවෝ පවසති.
වගාකරුවන් පවසන්නේ මෙම සතුන් පොල් මල් සහ පොල් ඇට්ටයේ සිට වර්ධනය වූ ගෙඩි සපා කමින් සිදු කරන හානිය හේතුවෙන් පොල් අස්වැන්න සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ පොල් වගාකරුවකු වන ආර්.එම් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.
“අපි පොල් වගා කරන්න බොහෝ මහන්සි වෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා. පොල් වගාවට විශාල හානියක් වී තිබූ මයිටා රෝගය ක්‍රමයෙන් මර්ධනය වෙමින් පවතිනවා.
නමුත් දඬු ලේනන් හා වඳුරන් සිදු කරන හානිය ඊටත් විශාලයි. දඬු ලේනෙක් පොල් ගසකට නැග්ගොත් ඒ ගහේ මල් සියල්ලම සපා දමා කුරුම්බැට්ටේ සිට මෝරපු පොල් ගෙඩිය දක්වා කා දමනවා”
පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මහතා පවසා සිටියේ මෙය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් කටයුත්තක් බවත් පොල් වගාවට හානි සිදුවන මුත් සතුන් විනාශ කිරීමට අයිතියක් වගාකරුවන්ට නැති බවත්ය.
පොල් සංවර්ධන මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් කළමණාකාර ඉන්දික සෙනවිරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ වන සතුන්ගෙන් වන හානි වැළැක්වීමට ඔවුන් වගාකරුවන්ට වායු රයිෆල් හඳුන්වා දී ඇති බවය.