පීපල්ස් ලීසිං නව සභාපති මහාචාර්ය අජන්ත කුමාර සමරකෝන්


විමුක්ති එස් රුද්‍රිගු


පීපල්ස් ලීසිං සහ ෆයිනෑන්ස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය අජන්ත කුමාර සමරකෝන් මහතා පත්කර ඇත. හිටපු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා පසුගියදා ඉල්ලා අස්වූවේය.
මහාචාර්ය සමරකෝන් මහතා වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ මහාචාර්යවරයකු ලෙස සේවය කරන අතර ඔහු කීර්තිමත් ශාස්ත්‍රීය හා වෘත්තීයවේදියෙකි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී (විශේෂ) උපාධියක් සහ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත.
මහාචාර්ය සමරකෝන් මහතාට 2009 වසරේදී චෙක් ජනරජයේ අධ්‍යාපන, යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තරකරණ සංවර්ධන ශිෂ්‍යත්වයක් පිරිනමන ලද අතර එමගින් චෙක් ජනරජයේ තෝමස් බටා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ ආර්ථික විද්‍යා පීඨයේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඒ මහතාට අවස්ථාව ලැබිණි. ඔහු සිය ආචාර්ය උපාධිය 2012 වසරේදී සාර්ථකව අවසන් කළේය.
ඔහු සී.එම්.ඒ ඕස්ට්‍රේලියා (සහතික කළ කළමනාකරණ ගණකාධිකාරී ආයතනය) සහ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ (AAT ) සාමාජිකයෙකි.
ඔහු දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති (MBA ) සහ වාණිජ ශාස්ත්‍රපති (MCOM) උපාධි වැඩසටහන්වල සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන අතර මීට පෙර එම විශ්ව විද්‍යාලයේ වාණිජ හා මූල්‍ය කළමනාකරණ අධ්‍යයනාංශයේ ප්‍රධානියා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක වැනි ප්‍රධාන භූමිකාව ද දරා ඇත.