(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම හා ඒ අවට ප්‍රදේශ වල පුවක් ගෙඩියක මිල රුපියල් 25 දක්වා ඉහළ ගොස් ඇති බව පුවක් අලෙවිකරුවෝ පවසති.
පසුගිය වසර වලදී පුවක් ගෙඩියක් රුපියල් පහකට වඩා ඉහළ නොගිය බවත් මෙවර පුවක් මිල ඉහළ යාමත් සමඟ අලෙවියද පහත වැටී ඇති බවත් පුවක් අලෙවිකරුවෝ කියති.
පාලවිය නගරයේ බුලත් පුවක් අලෙවිකරුවකු වන නිමල් ආරියරත්න මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය.
“ කලින් දවසකට පුවත් ගෙඩි 1000 විතර අලෙවි කළා.නමුත් පුවක් මිල හිතා ගන්න බැරි විදිහට ඉහළ යාම නිසා දැන් දවසට ගෙඩි 200 ක් 300 ක් අලෙවි වෙන්නේ නැහැ.
කුඩා ගෙඩි රුපියල් 18 යි එතනින් එහා 25 දක්වා මිල ඉහළ යනවා.
රුපියල් 18 තියෙන පුවක් එතරම් හොද තත්වයේ නැහැ .ඒ නිසා වැඩි දෙනෙක් 25 ට තියෙන පුවක් වලින් ගෙඩි කිහිපයක් අරන් යන්න පුරුදු වෙලා‘‘ යැයි ඔහු පැවසීය.
බුලත් විට අලෙවි කරන කොට්ටුකච්චිය ගල්කුලම කේ .නන්දාවති මහත්මිය මේ පිළිබඳව මෙසේ පැවසුවාය.
“ඉස්සර අපි පුවක් ගොනියක් දවස දෙකෙන් දෙකට ගන්නවා.දැන් ඒ විදිහට ගන්න සල්ලි නැහැ.
අපි බුලත් විට කලින් අලෙවි කළේ රුපියල් 40 ට. පුවක් ගෙඩි දෙකක් කපලා දානවා. නමුත් දැන් බුලත් විට රුපියල් 50 කළා.දැන් විටට පුවක් ගෙඩි දෙකක් දාන්නෙ කොහොමද .
බුලත් කොලයක් රුපියල් තුනයි .අපි බුලත් කොල හතරක් විටට දානවා තව දුන්කොල ,හුණු දාන්න ඕනා මේ විදිහට අපිට දැන් බුලත් විට අලෙවි කරන්න අමාරුයි‘‘. යැයි ඇය පැවසුවාය.