(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාස කිහිපයක සිට පොල් මිල පහත වැටීමෙන් තමන් අර්බුදයකට ලක්ව සිටින බව වගාකරුවෝ පවසති.
පොල් ත්‍රිකෝණයට අයත් දිස්ත්‍රික්ක තුන අතරින් පුත්තලම දිස්ත්‍රික්කය ප්‍රමුඛ ස්ථානයක් ගෙන ඇති මුත් පසුගිය අප්‍රේල් මාසයේ සිට පොල් ගෙඩියක මිල රුපියල් 20ත් 25ත් අතර මිලකට පහත වැටී ඇතැයි ඔවුහු කියති.
පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත පොල් වගා බිම්වලින් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් පැවතුණද මාස කිහිපයක් පොල් මිල පහත වැටී තිබීම හේතුවෙන් තම වගාබිම් නඩත්තු කිරීම්ට අපහසු වී ඇති බවද ඔවුහු කියති.
ලෝකයේ පොල් පරිභෝජනය අතින් ශ්‍රී ලංකාව ඉහළ තැනක් ගන්නා අතර, වසරකට ශ්‍රී ලාංකිකයකු පොල් ගෙඩි 87 ක් ආහාරයට ගන්නා බවත්, සමස්ත පරිභෝජනයට වසරකට පොල් ගෙඩි මිලියන 1887 කට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය බවත් පොල් සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවල දැක්වේ.
පොල් කර්මාන්තය කඩා වැටීම ගැන අදහස් දක්වමින් සිටි පොල් වගාකරුවකු වන ආර්. එම්. කරුණාරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“මිනිස්සු පොල් වගාවක් නඩත්තු කරන්න එතරම් වියදමක් යන්නේ නැහැ කියලා. නමුත් දැන් තියෙන වියදම් එක්ක දවස් කුලියකට කම්කරුවෙකු ගත්තොත් වැඩට රුපියල් 1500 යනවා. පොහොර දමන්න, එළි පෙහෙළි කරන්න, අනිත් වියදම් ගත්තාම හරි අමාරුයි පොල් වගාව පවත්වාගෙන යන්න. අනිත් එක පුත්තලම දිස්ත්‍රික්කයට වසරේ මැයි මාසයෙන් පසු වර්ෂාව නැති නිසා වතුර දමන්නත් විශාල වියදමක් දරනවා. අඩුම තරමින් පොල් ගෙඩියකට රුපියල් 30 කින් එහා මිලක් තිබිය යුතුමයි. මෙය පාරිභෝගිකයාටත් දරා ගන්න පුළුවන්” යැයි ඔහු පැවසීය.
පොල් ව්‍යාපාරිකයකු වන අතුල කරුණාරත්න මහතා පවසා සිටියේ මෙවැන්නකි.
“ අපි ලක්ෂ ගනණින් පොල්වලට මුදල් යට කරලා. මාස ගනණක් බලා ඉන්නවා ඒවා මුදල් කර ගන්න. නමුත් පසුගිය අප්‍රේල් මාසයෙන් පස්සේ පොල් මිල අස්ථාවර වුණා. මෙය බරපතල දෙයක්. මොකද මේ තරම් මිල අඩුවීමත් එක්ක ව්‍යාපාරිකයින් ගැටලු රැසකට මුහුණ දෙනවා. පොල් ආශ්‍රිත නිෂ්පාදන සියල්ල විනාශයි. මේ කර්මාන්තය අනාගතයේ බරපතල අර්බුදයකට ලක්වන එක වළක්වන්න බැහැ” යැයි ඔහු කීය.
පොල් සංවර්ධන අධිකාරියේ සභාපති උදය රූපසිංහ මහතාගෙන් කළ විමසිමේදී ඔහු මෙසේ කීය.
“ මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල පොල් අස්වැන්නක් ලැබී තිබෙනවා. එයත් මේ පොල් මිල පහත වැටීමට බලපෑ එක් කරුණක්. ලංකාවේ සමස්ත පොල් පාරිභෝජනය වසරකට මිලියන 1887 ක් විතර වෙනවා. නමුත් පසුගිය වසර කිපයකදි 2016 වසරේදී මිලියන 3057 ක්, 2017 දි මිලියන 3100 ක් ඒ වාගේම 2018 දී මිලියන 2457ක් ලෙස පොල් පලදාවක් ලැබී තිබුණා. ඒ වාගේම 2018 අවසානයේ සිට මේ වසරේ මුල් මාස 6ට ආසන්න වන විට මිලියන 2850 ට ආසන්න පොල් අස්වැන්නක් ලැබිලා. මේ නිසා රට තුළ විශාල පොල් අතිරික්තයක් තිබෙන බවට අපිට වාර්තා වෙනවා. පොල් මිල පහත වැටීමට එය බලපා තිබෙන බවයි අපි අනුමාන කරන්නේ.
ඒ වාගේම පිටි කළ පොල් කිරි කර්මාන්ත ආයතන 8ක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. එයත් මේ මිලට බලපාන්න ඇති. මොකද ඇතැම් පිරිස් පිටි කළ පොල් කිරිවලට යොමුවෙලා. විදේශීය වෙළඳපොලට පොල් යවන්නත් අපි අවස්ථාව දුන්නා. ඒ නිසා පොල් මිල ඉදිරියෙදී යම් හොඳ මට්ටමකට එන්න පුළුවන්. පොල් මිල අඩුවෙන කොට වගාකරුවන් කර්මාන්ත කරුවන් කෑගසනවා වාගේම තමා පොල් මිල වැඩි වෙද්දි පාරිභෝගිකයින් ආරක්ෂා කරන්නත් විවිධ දේවල් අපිට කරන්න සිද්ද වෙනවා” යැයි හෙතෙම පැවසීය.
පොල් මිල පහත වැටීමෙන් වගාකරුවන් අර්බුදයක
Recommended Articles