බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමන බව කෘෂි ඇමති කියයි


(දයාරත්න ඇඹෝගම)
 
දේශීය බඩ ඉරිඟු ගොවියා ශක්තිමත් කිරීම සඳහා දැනට බඩ ඉරිඟු කිලෝවක් සඳහා පවතින මිල රුපියල් 5 කින් ඉහළ දමන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා අනුරාධපුර තන්තිරිමලයේදී අද(21) පැවසීය.
 
රුපියල් මිලියන පනහක වියදමින් දෙමටමල්ගම 367 තුලාව, බෝගොඩ හන්දියේ සිට කිවුලේකඩ දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.


“අපි මේ සැරේ බඩ ඉරිඟු වගාවට අතහිත දීලා තියෙනවා. බඩ ඉරිඟු වගා කරන අයට ලක්ෂයක් වියදම් වුණොත් 60,000ක් නිකන් දෙන්න අපි ලෑස්තියි. ඒ වගේ පවුල් 3,000ක් තෝරගෙන තියෙනවා.
බඩ ඉරිඟු පිටරටින් ගෙන ඒමත් නවත්තන්නයි අපි උත්සාහ කරන්නේ.
බඩ ඉරිඟුවලට දැන් ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් බඩ ඉරිඟු මිල 45 යි. මම ඒ මිල රුපියල් 50 දක්වා වැඩි කරනවා.


නොදන්වාම පාන් පිටි මිල වැඩි කරලා. ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා මම. ඒ වැඩි කරපු සමාගම්වලට මම වහාම දැනුම් දුන්නා පාන් පිටි මිල අඩු කරන්න කියලා.
මොකද බඩු මිල වැඩි කරනවා නම් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය තියෙන්න ඕන. ඒ අවසරයකින් තොරවයි පෞද්ගලික සමාගම් පාන් පිටි මිල වැඩි කරල තියෙන්නෙ. ඉස්සෙල්ල දවසෙ වැඩිවන පාන් පිටි මිල හදිසියේම අඩු වුණේ අපි කරපු දැනුම් දීමත් එක්ක. අපේ අනුමැතිය නැතිව කිසිසේත්ම වැඩි කරන්න බෑ.
 
අපි අලුතෙන් වී වර්ගයක් හඳුන්වලා දෙනවා. ඒකට ගතවෙන්නේ දින 80යි. වියළි කලාපයේ ප්‍රදේශවලට වගේම වව්නියාව, මඩකලපුව, අම්පාර, මොනරාගල ,හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ඒවා වගා කරන්න කියලා අපි නිර්දේශ කරනවා. බතලේගොඩ වී පර්යේෂණ ආයතනයට ගියාට පස්සේ තමයි මම මේ ගැන හරි තීරණයක් ගත්තේ. ඒ අනුව ඉදිරියේ දී අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවලට ඒ දින 80 වී වර්ගය ලබා දෙන්න  කටයුතු කරනවා” යැයිද ඒ මහතා කීය.
ඉදිරියේදී මුන් ඇට, මුං ඇට කව්පි හා කුරක්කන් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
 
මෙම අවස්ථාවට තන්තිරිමලේ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන නා හිමි, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.