(එෆ්.අස්ලම්)
තේ කර්මාන්තයේ වසර ගණනාවක සිට සිදුවෙමින් පවතින කඩාවැටීම් හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ තේ කර්මාන්තශාලා 79 ක් අතරින් 28 ක් ම මේ වනවිට වැසී ගොස් තිබෙන බවත් එක්සත් වතු කම්කරු සංගමයේ මහ ලේකම් ඒ.මුත්තුලිංගම් මහතා පැවසීය.
රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ පාලනය වූ තේ කර්මාන්තය 1992 වසරේදී පෞද්ගලීකරණය කිරීමත් 2004 වසරේ පෞද්ගලික පාර්ශවයන් හට වසර 50ක කාලයක් බදු දීමත් මත වතු කර්මාන්තයේ දැවැන්ත පරිහානියක් සිදුව තිබෙන බවද හෙතෙම කීය.
වතු පාලනය අතට ගත් හාම්පුතුන් වතු කම්කරුවන්ගේ සුබ සාධන හා ආර්ථික තත්වය කෙරෙහි නොසැලකිල්ලක් දැක්වීමත් වතුකම්කරුවන්ගේ ශ්‍රමයට සරිලන වැටුපක් නොගෙවීමත් මේ හේතුවෙන් වතුකම්කරුවන් වතු සේවයෙන් ඈත් වීමත් යන කාරණාවන් මත තේ කර්මාන්තය පිරිහෙමින් පවතින බවද හෙතෙම කීය.
තේ නිෂ්පාදනයේ විශාල ප්‍රගතියක් දැක්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ චෙල්සිවත්ත, කලංවත්ත, ක්වින්ස්ටවුන්, ඩැමේරියා, ගූගලෑන්, ලෙජර්වත්ත, නෙළුව, වෝර්ක්වෙල්, පිංඅරාව, සෙන්ජේමිස්, උඩවේරිය වැනි ප්‍රසිද්ධ තේ කර්මාන්තශාලා වැසී ගොස් තිබෙන බවද මුත්තුලිංගම් මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් දැනට නිෂ්පාදන සිදුවන තේ කර්මාන්තශාලා වෙත තේ දලු ගෙන යාමට සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
බදුල්ලේ තේ කම්හල් 28 ක් ම වැසෙයි
Recommended Articles