බැංකුණය පොලිය අඩුකරන බව අගමැති කියයි


(අංජුල මහික වීරරත්න)

මේ මාසය අවසන් වනවිට බැංකුණය පොලිය 12% සිට 10% දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලයේ දී පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය කෙටි කලක් ඇතුළත යථාතත්වයට පත්වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා ඇතුළු ආණ්ඩුව සූදානම් බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  විපක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනා විවාදයේ දී ඔවුනට ඝන පුර්ණය තබා ගැනීමටවත් නොහැකි වූ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමල නගර සභා ක්‍රීඩාංගනයේ පැවති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට අද  (14) එක් වෙමිනි.

එහිදී  තවදුරටත් අදහස් දැක්වූ  අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීය.

"මේ මාසය අවසන් වන විට බැංකුණය පොලිය 12% සිට 10% දක්වා අඩු කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙමගින් විශාල පිරිසකට සහනයක් සැලසෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

මේ වසරේ මුලදී විදේශ සංචාරකයින් 160,000 ක් ලංකාවට පැමිණියා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු එම සංඛ්‍යාව 30,000 දක්වා අඩු වුණා. නමුත් ඉන්පසු රජය ගෙන ගිය කඩිනම් වැඩ පිළිවෙළ නිසා ජුනි මාසයේදී එම සංඛ්‍යාව 63,000 දක්වා වැඩි වුණා. මේ මාසය අවසන් වන විට එය ලක්‍ෂයක් දක්වා වර්ධනය වන බව කිව යුතුයි. එමෙන්ම අගෝස්තු මාසය අවසන් වන විට මේ සංඛ්‍යාව 125,000 දක්වා වැඩි කර ගැනීමට අප පියවර ගෙන තිබෙනවා" යැයිද ඒ මහතා පැවසීය.