මත්තලින් රට රැකියා යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම්


( තිළිණි ද සිල්වා )

 

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සඳහා පිටව යන මෙරට සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අද (3) පැවසීය.

මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

වාර්ෂිකව මෙරටින් විදේශ රැකියා සඳහා පිටත්ව යන පිරිස ලක්ෂ 2 ක් පමණ වන අතර  මෙම පිරිසෙන් 20% ක් පමණ මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක නවයකින් පිටත්ව යන බව මත්තල ගුවන් තොටුපළේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවකින් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මෙලෙස වට්ටම් ලබා දීම වෙනුවෙන්  කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව ඇති බැවින් ඉදිරියේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් විදේශ රැකියා සඳහා පිටත්ව යන අයට ද සහන සැලසෙන්නේ යැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම මත්තල ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර ගුවන් සමාගම්වල මෙරට කළමණාකරුවන් සමග ද සාකච්ඡා ආරම්භ කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.