ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පෙබරවාරි මස 12 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම බැංකුවේ නියෝජ්‍ය අධිපති තනතුරට උසස් කර ඇත.
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම උස්ස කිරීම කරනු ලැබ තිබේ.
කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා වසර 28කට වැඩි කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර ඇති අතර නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස උසස්වීම් ලැබීමට පෙර හෙතෙම ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව භාර සහකාර අධිපති ලෙස කටයුතු කර ඇත.
ඊට අමතරව හෙතෙම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය ද හොබවා ඇත. සිරිවර්ධන මහතා 2017 වසරේ ජූලි මාසයේ සිට 2019 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධ්‍යාක අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේය.
හෙතෙම 2010 ඔක්තෝබර් මාසයේ සිට 2015 අප්‍රේල් මාසය දක්වා මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද ජාතික සැලැසුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස ද කටයුතු කළේය.
ඔහු ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ද ඇතුළු ආයතන ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජියකු ලෙස භාණ්ඩාගාර නියෝජිතයකු ලෙස ද සේවය කර ඇත.
සිරිවර්ධන මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබාගෙන ඇති අතර කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන ඇත.
ඔහු දකුණු හා නැගෙනහිර ආසියානු රටවල මහ බැංකු පුහුණු මධ්‍යස්ථානයේ පර්යේෂණාත්මක අධ්‍යයනවල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩාලික පත්‍රිකා ප්‍රකාශනයෙහි ලිපි ගණනාවක් ද පළ කර ඇත.
(055)