(මනෝජ් හර්ෂික)
ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවතා දමන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා අද (24) පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
‘‘අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව ලබන වසරේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ඉකුත් වර්ශයේ මෙට්‍රික් ටොන් 10,000ක් පමණ අප ගෙන්වලා තියෙනවා. හම්බන්තොට ඒ නව ව්‍යාපෘතිය සමඟ ඉදිරියේදී මුං ඇට ආනයනය අවශ්‍ය වන්නේ නැහැ.
ඒ වගේම යාපනය, මුලතිව්, කිලිනොච්චි දිස්ත්‍රික්කවල කෘෂි නවීකරන ව්‍යාපෘතිය මගින් රටකජු වගා කරලා තියෙනවා. එහි අස්වැන්න මෙට්‍රික් ටොන් 3,000ක් පමණ බලාපොරොත්තු වෙන්න පුලුවන්.
මෙරටට උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙනවා. උඳු ගෙන්වනවානම් රුපියල් දෙසියක බද්දක, පාඩුවට තමයි ගෙන්වන්න වෙන්නේ පිටරටින් උඳු ගෙන්වීම නැවැත්වීම අප ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒක අපේ රටේ උඳු ගෙවියා නඟා සිටුවීමට ලොකු අත්වැලක් ද වෙනවා.
විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට කෘෂි විද්‍යාඥයින්ට රටට අවශ්‍ය කෘෂිකාර්මික දත්ත සකසන්න, ආනයනය කළයුතු බෝග, මෙරට නිෂ්පාදනය කළ යුතු ප්‍රමාණය කොහොමද කියලා තීරණය කරන්න ගොවීන් දැනුවත් කරන්න මම උපදෙස් ලබා දුන්නා‘‘යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.