මුදල් නීති පනතට පිටුපෑ බැංකු 8 කට වැඩ වරදි


මුදල් නීති පනතේ නියෝග අනුව ණය අනුපාතික ඉලක්ක සපුරාගැනීමට නොහැකි වූ බැංකු අටකට එරෙහිව පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, ඉන්දියන් ඕවර්සීස් බැංකුව, එම්.සී.බී. බැංකුව, පබ්ලික් බෑන්ක් බර්හාඞ්, ස්ටෑන්ඩර්ඞ් චාටර්ඞ් බෑන්ක්, අමානා බෑන්ක් සහ ඇක්සිස් බැංකු 2019 වසරේ අංක 2 දරන මුදල් නීති පනතේ නියෝගය සමඟ අනුකූල වීමට අපොහොසත් වී ඇති බවත් එබැවින් එලෙස එම බැංකුවලට එරෙහිව පියවර ගන්නා බව මහ බැංකුව නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

මහජනතාවට අඛණ්ඩව ප්‍රතිලාභ හිමි කරදීම තහවුරු කිරීම සඳහා මෙම බැංකු සම්බන්ධයෙන් මෙන්ම මුදල් නීති පනතේ නියෝගයේ සඳහන් අනෙකුත් විධාන සපුරා නොමැති බලපත්‍රලාභී බැංකු සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව අදහස් කර ඇතැයි එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වසරේ අප්‍රේල් 26 වැනිදා ප්‍රකාශයට පත් කළ වාණිජ බැංකු වල සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික හා සැසඳීමේදී දෙසැම්බර් 27 වැනිදා වනවිට එම සතිපතා බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතික අවම වශයෙන් පදනම් අංක 250කින් පහළ දැමිය යුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් ඉහත නියෝගයට අනුව කටයුතු කර ඇති බව ද එම බැංකුව කියයි.

මුදල් නීති පනතේ නියෝගයට අනුව කිසිදු බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සිය බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය දැනට අඩු කළ මට්ටමට වඩා ඉහළ නොදැමිය යුතු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 

055