යාපනය-චෙන්නායි ගුවන් ගමන් සඳුදා සිට


එයාර් ඉන්දියා ගුවන් සමාගමට අනුබද්ධිත, එයාර් එලයන්ස් ගුවන් සේවය මගින් යාපනය ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපළ දක්වා වාණිජ ගුවන් සේවා කටයුතු  නොවැම්බර් 11 දින සිට ආරම්භ කරන බව එයාර් එලයන්ස් ගුවන් සේවය පවසයි.

මෙම ගුවන් ගමන් සඳුදා, බදාදා සහ සෙනසුරාදා යන දිනවලදී පැවැත්වේ.

එයාර් එලයන්ස් සමාගමේ 9I 101 ගුවන්යානය චෙන්නායිහි සිට පෙරවරු 10.35ට පිටත් වන අතර, එය 12.00ට යාපනයට පැමිණීමට නියමිතය.

එම ගුවන්යානය 9I 102 දරන අංකය ඔස්සේ යාපනයේ සිට පස්වරු 12.45ට පිටත්වන අතර, එය 2.10ට චෙන්නායි ගුවන් තොටුපළ වෙත ළඟාවනු ඇත.

එයාර් එලයන්ස් සේවය ඉන්දියාවේ ගමනාන්ත 53ක් වෙත මේ වනවිට සම්බන්ධ වී සිටී. මේ අනුව එහි 54වන ගමනාන්තය ලෙස යාපනය තෝරාගනු ලැබ ඇත. එලායන්ස්හි පළමු ජාත්‍යන්තර ගුවන් සේවා සබඳතාවද මේ අනුව ඇරඹෙයි.

මෙම ගුවන් ගමන් කටයුතු යාපනය සහ ඉන්දියාවේ චෙන්නායි නුවර අතර, මෙතෙක් පැවති වසර 41ක හිදැස පිරවීමක් ද වන්නේය.

යාපනයේ සිට පියාසර කරන මගීන්ට ට්‍රිචි, මදුරායි, දිල්ලි, ත්‍රිවන්ද්‍රම්, ගෝවේ, හයිද්‍රබාද්, කුවේට්, මස්කට්, ඩුබායි, සාජා සමඟ සම්බන්ධ වී සුවපහසු ගුවන් සේවයක් ලබාගැනීමට හැකි වේ.

එයාර් ඉන්දියා සමාගමේ ප්‍රධාන කළමනාකාර අධ්‍යක්ෂක ශ්‍රී අෂ්වානි ලොහානි මහතා පැවසුවේ මෙය ආඩම්බර විය හැකි මොහොතක් බවයි. “එයාර් ඉන්දියා සමාගමේ දෙවන ගුවන් සේවය වන එයාර් එලයන්ස් සේවය ජාත්‍යන්තරයට පිවිසීමක්” බවද ඒ මහතා කීය.

“මෙය චෙන්නායි සහ යාපනය අතර, පළමු සෘජු ගුවන් ගමන් සේවය වේවි” යැයි එයාර් එලයන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී සී.එස්.සුබියාහ් මහතා පැවසීය.

පලාලි ගුවන් තොටුපලේ තිබෙන කෙටි ධාවන පථය හේතුවෙන් මේ සඳහා යොදාගනු ලබන්නේ ආසන 70කින් යුතු කුඩා ප්‍රමාණයේ ගුවන් යානා වේ.

යාපනයේ සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් සඳහා ආරම්භක ගාස්තුව වශයෙන් රුපියල් 8,180ක මුදලක් වැය වන අතර, බදු ඇතුළත්ව එම මුදල රුපියල් 9,630ක් පමණ වේ.

එයාර් එලයන්ස් ගුවන් සේවයේ සියලු ගුවන් ගමන් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා www.airindia.in වෙබ් අඩවියට පිවිසිය හැකිය.