(නිමල කොඩිතුවක්කු)
පාස්කු ප‍්‍රහාරයෙන් පසු රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් රටේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
රටේ සංවර්ධන ක‍්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, ඒ සියලූ උත්සාහයන් පරාජය කොට සංවර්ධන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් පියවර ගත යුතු බවත් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩුව ඉදිරියට ක‍්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් සමග අද (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
"ආණ්ඩුව ඉදිරියට ක‍්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අපි විශේෂයෙන් සාකච්ඡා කළා. අපේ‍්‍රල් 21 වනදා සිට මේ දක්වා අප ගත් තීන්දු තීරණ නිසා මාසයක් ගත වීමටත් පෙර අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. මෙලෙස ඉතා කෙටි කාලයක් තුළ අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් ලෝකයේම සිදුවී තිබෙන්නේ කිහිපයක් පමණයි.
පාසල් පැවැත්වීම කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ ගත්තත් මේ වන විට පාසල් සාමාන්‍ය පරිදි පවත්වනවා. ඒ වගේම මුස්ලිම් දේවස්ථානවල යාඥාවන් සහ කතෝලික දේවමෙහෙයන් සාමාන්‍ය පරිදි සිදු කරනු ලබන අතර ප‍්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් උත්සවය ද අප ඉහළින් සැමරුවා. මේ වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් රටේ ආර්ථික සංවර්ධනය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුව තිබෙනවා.
එම කාලය තුළ ඇතැම් ව්‍යාපාරිකයන්ට තම ණය ගෙවීම පිළිබඳව ගැටලූ ඇති වූ නිසා ඒ අයට කෙටි කාලීන සහන ලබා දෙන ලෙස බැංකුවලින් අප ඉල්ලා සිටියා. පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් අපේ අපනයන අඩු වී නොමැති අතර නිෂ්පාදන අංශ ගණනාවක් සිය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා.
පාස්කු ප‍්‍රහාරය නිසා විශාල බලපෑමක් ඇති වූ අංශ පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. මේ ප‍්‍රහාරයෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි.
පාස්කු ප‍්‍රහාරයත් සමග ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට සඳහන් කරමින් විදෙස් රටවල් ගණනාවක් ශ‍්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබුණා. නමුත් මේ වන විට ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ශ‍්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට තිබෙනවා. තවත් රටවල් කිහිපයක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාව, චීනය සහ යුරෝපය ඇතුලූ රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය ක‍්‍රියාත්මක කළා.
මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට අප කටයුතු කරනවා. සංචාරක ක්ෂේත‍්‍රයේ නිරත සියලූ දෙනාගේ ණය වෙනුවෙන් සහන ලබාදීමට ද ඒ අනුව කටයුතු කරනවා.
ශ‍්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කිරීමත් සමඟ අගෝස්තු මාසය වන විට සංචාරකයින්ගේ පැමිණීම වැඩි වී දෙසැම්බර් මාසය වන විට අපේ ඉලක්කගත සංචාරකයින් ප‍්‍රමාණය පැමිණෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
ගම්පෙරලිය සහ එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා වැඩසටහන් වෙනුවෙන් වෙන් කර තිබෙන මුදල් ප‍්‍රමාණය තවත් වැඩි කර තිබෙනවා. එම නිසා තම ආසනවලට ගොස් වැඩ කටයුතු ආරම්භ කරන ලෙස අපේ සංවිධායකවරුන්ට දැනුම් දෙනවා."