රත්මලාන ගුවන්තොටුපළින් කලාපීය ගුවන් මෙහෙයුම්



(තිළිණි ද සිල්වා)
 
රත්මලාන ගුවන්තොටුපළින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (15) පැවසීය.
 
ඊට අදාළව දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක අමාත්‍යවරයා කීය.
 
ඒ අනුව මාලදිවයින් ගුවන් සමාගම සහ විලා ගුවන් සමාගම දැනටමත් සාකච්ඡා කර තිබෙන අතර,  දකුණු ඉන්දීය ගමනාන්ත සඳහා ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය ගුවන් සමාගම් කිහිපයක් සමඟ සාකච්ඡා කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
 
රත්මලාන ගුවන්තොටුපළ තුළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ආයතනික හා ව්‍යාපාරික ජෙට් යානා සඳහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් වැඩිකිරීම, කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
 
ඒ අනුව රත්මලානේ ගොඩබස්සවනු ලබන ජාත්‍යන්තර ගුවන් යානා වසරක කාලයක් සඳහා ගොඩබෑමේ හා නතර කර තැබීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය කර ඇතැයි බවත්, ඊට අදාළව ගැසට් නිවේදනය ද ඉකුත්දා ප්‍රකාශයට පත් කළ බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.

තවද රත්මලාන ගුවන්තොටුපලට පැමිණෙන ජාත්‍යන්තර ගුවන්යානා සඳහා සහන මිල ගණන් යටතේ ඉන්ධන ලබාදීමටත්, රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්තොටුපළ අපගමන බද්දෙන් 50%ක මුදලක් වසරක කාලයක් සඳහා නිදහස් කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය පල කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
1935 ඇරඹුණු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වේ. කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 14ක දුරින් පිහිටි මෙම ගුවන්තොටුපළ වාණිජ මගී ගුවන්යානා, ගුවන්සේවා පුහුණු පාසල්, ජාත්‍යන්තර ආයතනික ජෙට් යානා, ප්‍රභූන් හා විශේෂ අමුත්තන්ගේ ගමන් බිමන්, ජාතික අර්බුදකාරී අවස්ථාවන්හිදී මානුෂීය මෙහෙයුම් හා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ද ඇතුළුව දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානය ලෙස රත්මලාන ගුවන්තොටුපළ දිනකට ගුවන්යානා මෙහෙයුම් 75ක් පමණ ක්‍රියාත්මක කෙරෙන බව ද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.