රබර් වගාවේ සංවර්ධනයට චීන ආධාර


(විනීතා එම් ගමගේ)

ශ‍්‍රී ලංකාවේ රබර් ක්ෂේත‍්‍රයේ සංවර්ධනය උදෙසා ආයෝජනය කිරීමට චීන රජය එකඟතාවය පළ කර ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය කියයි.

ඒ අනුව රබර් කර්මාන්තය සංවර්ධනයට විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ වන බවත් එහි ප‍්‍රතිඵලයක් ලෙස විශේෂ රබර් සංවර්ධන කලාපයක් සහ ඊට සමාන්තරව රබර් ආශ්‍රිත කර්මාන්ත කලාපයක් ස්ථාපනයට නියමිත බවත් වැවිලි  කර්මාන්ත අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
 
වැඩි පලදාවක් සහිත රබර් බීජ හා නව තාක්ෂණයද රබර් කෙෂ්ත‍්‍රයට හදුන්වා දෙන බවත් ස්වභාවික රබර් නිෂ්පාදනය කෙරෙන ප‍්‍රමුඛ පෙළේ රටක් ලෙස ශ‍්‍රී ලංකාව ස්ථානගත කිරීම මෙහි අරමුණ  බවත් හෙතෙම කියා සිටියේය.
 
චීනයේ හයිනෑං රබර් සංවර්ධන කලාපය නියෝජනය කරමින් විශේෂ දූත පිරිසක් ඊයේ (03) බත්තරමුල්ල සෙත්සිරිපාය 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ‍්‍රයේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සමග කළ විශේෂ සාකච්ඡාවක දී මේ අදහස් පළ කළේ යැයි හෙතෙම සඳහන් කළේය.
 
එහිදී හයිනෑං විදේශ කටයුතු හා අන්තර් ජාතික ආර්ථික සම්බන්ධතා පිළිබඳ ප‍්‍රධානී ජිනග්ලෙයි හෑන්ග් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව මෙහෙයවූ බවත්  ඒ සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා වැවිලි කර්මාන්ත නවින් දිසානායක මහතා මෙම මස අගදී චීන සංචාරයකට එක් වීමට නියමිත බවත් එම නිලධාරියා කීය.