රුපියල සියයට 4.5 කින් වර්ධනය වෙයි


හර්ෂණ තුෂාර සිල්වා
 
මේ වසරේ මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.5 % කින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 
 
ශ්‍රී ලංකා රුපියල දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද (2) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.66ක් ලෙසත් රුපියල් ගැනුම් මිල 172.82ක් ලෙසත් සටහන්ව තිබිණි. 
 
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල 176ක් දක්වා අඩු වූයේ මාස හතරකට පසුවය. දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල ඉතිහාස ගත ලෙස ඉහළ ගියේය. 
 
පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 180 ද ඉක්මවා ගියේය. 
 
ජාත්‍යන්තර සහ දේශීය සාධක හේතුවෙන් පසුගිය වසරේදී දිගින් දිගටම අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල මේ වනවිට වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට මාර්තු 29 දක්වා කාලයේ දී ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 3.8 % කින් වර්ධනය වී ඇත.
 
එම දත්තවලට අනුව ඉහත සඳහන් කාලයේදී ශ්‍රී ලංකා රුපියල ස්ටාර්ලිං පවුමකට සාපේක්ෂව 0.7% කින්, ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 4.1% කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව 2.6% කින් වර්ධනය වී ඇත.