ලංකාවේ වේගවත්ම රැකියා උත්පාදකයා බවට සංචාරක කර්මාන්තය පත්වෙනවා


(හර්ෂණ තුෂාර සිල්වා)

ඉදිරි වසර පහක කාලයේදී ශ්‍රී ලංකාවේ වේගවත්ම සහ විශාලතම රැකියා උත්පාදකයා බවට සංචාරක කර්මාන්තය පත්වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පස්වරුවේ පැවැසීය.

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ බව සඳහන් කළේය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී ශ්‍රී ලංකා හෝටල් සංගමයේ වාර්ෂික සමුළුව පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද කීය.

“සංචාරක කර්මාන්තය, සංචාරක කර්මාන්තයේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතු කාලය එළැඹ තිබෙනවා. ආණ්ඩුව විදියට අපේ රාජකාරිය අරමුදල් සැපයීමයි. ඉදිරි වසර පහක කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන වැඩසටහන්, ප්‍රතිපත්ති, තීරණ, සැලසුම් යනාදිය දෙස බැලූ විට රටේ වේගවත්ම සහ විශාලතම රැකියා උත්පාදකයා බවට පත්වන්නේ සංචාරක කර්මාන්තයයි.

සීමාවක් නොමැතිව කටයුතු කරනවා ද නැතිනම් සංචාරකයන් මිලියන පහක් හයක් ඉලක්ක කරගෙන කටයුතු කරනවාද කියා අපි තීරණය කළ යුතුයි. එය ප්‍රධාන ප්‍රතිපත්ති තීරණයක්. ඉදිරි වසර කිහිපයේදීම අපි ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. විවාද කළ යුතුයි. අපි සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතුයි. රට සංචාරකයන්ට ආකර්ෂණය කළ යුතුයි. ඒ සඳහා අපි සංචාරක කර්මාන්තයට අවශ්‍ය මූල්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

එහෙත් එක් කොන්දේසියක් තිබෙනවා. ඔබ පුහුණු කිරීම් ආරම්භ කරන්න ඕනේ. ආණ්ඩුව විදියට අපි ඊට මූල්‍ය සහයෝගය ලබාදෙනවා. ලංකාවේ ප්‍රමාණවත් තරම් හොඳ හෝටල් පාසල් නැහැ. අපි ප්‍රමාණවත් තරම් හොඳ කෝකියෝ හදන්නේ නැහැ. මේ දේවල් අදට වැඩියෙන් කරන්න ඕනේ.

අපට සැලැසුම් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ඕනේ. අපි සංචාරක කලාප ආරම්භ කරන්න ඕනේ. එකක් ඉරණවිල හැදෙනවා. දෙද්දූව තවත් සංචාරක කලාපයක් හදනවා. කොග්ගල, දෙනියාය, රක්වාන, ඔහිය යන ප්‍රදේශ ඉලක්ක කරගෙන තවත් සංචාරක කලාප හදනවා.

අපි මත්තල ගුවන් තොටුපොළ තවදුරටත් සංවර්ධනය කරනවා. අප පලාලි හි යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරම්භ කළා. එහෙම වුණත් ඒ ප්‍රදේශවල ප්‍රමාණවත් තරම් හෝටල් නැහැ. හිරාන්ට ඒකාධිකාරයක් තිබෙනවා. එය කඩන්න ඕනේ. හෝටල් තුනෙන්, දෙකක් අයිති ඔහුට අයිතියි. තරු පහේ හෝටල්.

පූනරින්, මඩකලපුව, මන්නාරම, වව්නියාව ආදී වශයෙන් අපි කලාප හඳුනාගෙන තිබෙනවා. නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිතා කලාපය තවත් විශේෂිත කලාපයක්. මඩකලපුව ගුවන් මංතීරුව තවදුරටත් පුළුල් කිරීමට ද පියවර ගනිමින් ඉන්නවා. අපි යටිතල පහසුකම් සංවර්ධනය කරන්න ඕනේ. දැනට තිබෙන පහසුකම් යනාදිය වැඩිදියුණු කරන්න ඕනේ. ප්‍රවර්ධනය හා පුහුණු කිරීම් කිරීම ඔබේ වැඩක්. ප්‍රතිපත්ති සැකසීම අපේ වැඩක්. මූල්‍ය සහයෝගය දැක්වීම ද අපි කරනවා” යැයිද පැවසීය.