(හර්ෂණ තුෂාර සිල්වා)
ලෝ ප්‍රකට බී.බී.සී. පුවත් සේවය වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලංකාවේ නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය තේරී පත්ව සිටින්නීය.
ඇය ප්‍රකට මෝස්තර නිර්මාණ ශිල්පිනියකි.
2000 වසරේදී රැකියා කටයුතු අවසන් වී නිවසට යමින් සිටියදී රාජගිරියේදී ත්‍රස්තවාදීන් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී තුවාල ලැබූ ආශ්චර්යා පීරිස් මහත්මියට පසුව පෙනීම අහිමි විය. එම බෝම්බ ප්‍රහාරයෙන් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝම්බ ප්‍රහාරයට ගොදුරු වෙද්දි ඇය එච්.එස්.බී.සී. බැංකුවේ සේවය කරමින් සිටියාය.
පෙනීම අහිමි වුවත් ජීවිතය අත් නොහළ ආශ්චර්යා පීරිස් මහත්මිය මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට පැමිණෙමින් ජාත්‍යන්තර කීර්තියට පත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් බවට පත්වූවාය. සිය සිහින සැබෑ කරගත් නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මිය මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙස සම්මාන රැසක් දිනා ගැනීමට සමත්ව සිටී.
මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලියක් වන ‘නැගී එන මෝස්තර් නිර්මාණ ශිල්පිනිය’ තරගාවලියේ අවසාන වටයට පිවිසීමට ද ආශ්චර්යා පීරිස් මහත්මිය සමත්වූවාය.
ආශ්චර්යා පීරිස් මහත්මිය මේ වනවිට මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට අමතරව විශේෂයෙන්ම තරුණියන් දිරිගැන්වීමේ කටුයතුවල නිරතව සිටින්නීය. තරුණියන්ට සිය සිහින සැබෑ කරගැනීමට උපකාරී වන ආශ්චර්යා පීරිස් මහත්මිය තරුණියන්ට ඔවුන්ගේ වෘත්තීය දිවිය මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට උපදෙස් දෙන අතරම ඔවුන් දිරිගැන්වීමේ කටයුතුවලද නිරත වී සිටින්නීය.