(නිමල කොඩිතුවක්කු)
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිවිය යුතු බවත් ඉන් මෙහා කිසිදු විසඳුමකට වතු කම්කරුවන් සූදානම් නොමැති බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹදී පැවැසීය.
රුපියල් දහසක වැටුපක් ලබා දීමට කටයුතු නොකළහොත් ලබන 3 වැනි දා සිට අඛණ්ඩව විරෝධතාවල නිරතවීමට සමස්ත ලංකා වතු කම්කරු සංගමය තීරණය කර ඇතැයි ද එම සංගමයේ ලේකම් ජේ. එම්. ඒ පේ‍්‍රමරත්න මහතා පැවැසීය.
සමස්ත ලංකා වතු කම්කරු සංගමය මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද(20) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජේ. එම්. ඒ පේ‍්‍රමරත්න මහතා මෙසේද කීය.
‘‘වතු කම්කරුවන් වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වැවිලි සමාගම්, වෘත්තීය සමිති සහ රජය සමග අවසථා ගණනකදී සාකච්ඡා පැවැත්වූවා. ඒත් අපේ අවම වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමට මෙතෙක් කිසිදු පාර්ශවයක් එකඟ වි නැහැ.
දැන් අවසානයේදි වතුකම්කරුවාගේ වැටුප දිනකට රුපියල් 50කින් වැඩි කරලා කියලා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවා. එම මුදල වැඩි කරලා තියෙන්නෙත් මේ වසර සඳහායි. එම රුපියල් 50ත් සමග දෛනික වැටුප රුපියල් 800ක් වනවා. එම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නැහැ.
අපි මේ රුපියල් 1000 ඉල්ලන්නේ අද ඊයේ ඉදන් නෙමෙයි 2016 වසරේ ඉඳලයි. වතු කම්කරු පවුලක වියදම සලකා බලා එම මුදල තීරණය කලා. දැනන් එම වියදම රුපියල් 1420ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ අපිට රුපියල් 1000 හරි ලබා දෙන්න කියලයි.
අපි ඉල්ලපු ඒ රුපියල් 1000න් මෙහා අපේ කිසිම විසදුමක් නැහැ. මේක වතු කම්කරුවන් ජීවත් විම සඳහා කරන අරගලයකුයි. මෙවර අයවැයෙන් අපිට ඒ සඳහා සහන ලබාදිය යුතුයි.
රුපියල් 1000ක වැටුප් වැඩිකිරිම සිදුනොකළොත් මාර්තු 03 වනදා අපි හැටන් නගරයෙන් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරනවා. එතැන් සිට අපි අඛණ්ඩව විරෝධතා සිදුකරනවා. රජය මැදිහත්වී අපේ ගැටලූවට වහාම විසදුම් ලබා දිය යුතුයි.
සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ සෙල්වරාජ් සහ එම සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්වූහ.