විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක්


ශ්‍රී ලංකාවේ කුළු බඩු ගෝලීය වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව විදේශවල මෙරට කුළුබඩු අලෙවි කරන මධ්‍යස්ථාන ආරම්භ කරන බවත් එහි පළමුවැන්න ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර දී ආරම්භ කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී  පැවැසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලය එක්ව දිවයින පුරා විවිධ ප්‍රදේශවල ප්‍රචලිත මෙරට ඉපැරැණි ආහාර වට්ටෝරු 160ක් ඇතුළත් කරමින් රචිත ‘පුරාණ ආහාර වට්ටෝරු 160ක්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම කරුණු කීවේය

ශ්‍රී ලංකාවේ සූපවේදීන්ට නව නිර්මාණ, නවෝත්පාදන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ගෝලීය මට්ටමේ මුළුතැන්ගෙයක් ආරම්භ කරන බවත් එමගින් මෙරට සූපවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන් පවත්වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීවේය.

ඊට අමතරව නිවැරදි සූපශාස්ත්‍රවලට අනුකූල ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග ගෝලීය වෙළෙඳපොළට ගෙන යෑමේ වැඩසටහනක් ද වෝටර්ස් එජ් හෝටලය හා එක්ව ආරම්භ කරන බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

රාජ්‍ය අංශය මගින් ක්‍රියාත්මක වන වෝටර්ස් එජ් හෝටලය පසුගිය සමයේදී ලාභ ලැබූ බවත් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට සහ එම ක්ෂේත්‍රයට හිමිවිය යුතු බැවින් නව වැඩසටහන් රැසක් ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදි තවදුරටත් කීය. 

055