ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගු ගුවන් ගමන් කාල සටහන වෙනස් කරයි



  (නිමල කොඩිතුවක්කු)


ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළැඹෙන ශීත සෘතුවේ සිය  දිගු ගුවන් ගමන්  කාලසටහනේ  සැළකිය යුතු වෙනස්කම් රැසක් සිදුකර තිබේ.


ඒ අනුව ජාතික ගුවන් සේවයට අයත් 330- 300 යානා ඔක්තෝබර් 28 වන දින සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ආයතනික සන්නිවේදන අංශය සඳහන් කරයි. 


එමෙන්ම ඔක්තෝබර් 29 වන දින සිට කොළඹ සිට  -සිංගප්පූරුව - දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.


සතිපතා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමත් සමග වත්මන් කාලසටහනට අනුව සතියකට සිදුකරන ගුවන් ගමන් වාර 17 සිට  21  ක් දක්වා ඉහළ යන බව  ආයතනික සන්නිවේදන අංශය සදහන් කරයි.


එහිදී ගුවන් මෙහෙයුම් 7 ක් එයාර්බස් 330-300 ගුවන් යානා මගින් මෙහෙයවනු ලබන අතර ඉතිරි ගුවන් මෙහෙයුම් 14  නවතම - 320 / 321 ගුවන් යානා මගින් ක්‍රියාත්මක කරනු ඇත. 

 

මෙම ධාරිතා වැඩිදියුණු කිරීමත් සමග සතියකට අතිරේක ආසන 2400 ක් පමණ  පිරිනැමීමට සමාගම අපේක්ෂා කරයි.


මේ අතර  ඔක්තෝබර් 27 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි හොංකොං මෙහෙයුම් අත්හිටුවීමට ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා තිබේ. 


හොං කොං වෙත යාමට සහ පැමිණීමට දැනටමත් ටිකට්පත් මිලදී ගෙන ඇති මගීන්ට අනෙකුත් ගුවන් සමාගම් ඔස්සේ ගුවන් ගමන් සිදුකිරීමට කටයුතු සලසා දී ඇති බවද ආයතනික සන්නිවේදන අංශය සදහන් කරයි.


ශ්‍රී ලංකන්  ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය  ගුවන්  සේවා  සන්ධානයේ  සාමාජික  ගුවන්  සේවයක්  ලෙස  කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ  රටවල් 48 ක ගමනාන්ත 114 දක්වා සිය  ගුවන් ගමන්  සිදුකරනු ලබයි.