ශ්‍රී ලංකාව දකුණු ආසියාවට මෙන්ම ලෝකයට ගණකාධිකාරීවරුන් සහ වෘත්තීයවේදීන් බිහිකරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය දෙන බව ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා කොළඹදී පැවැසීය.
ශ්‍රී ලංකාව දැනටමත් දකුණු ආසියාවට ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ශිල්පීන් සහ වෘත්තීයවේදීන් බිහි කරන ප්‍රමුඛ රටක් බවත් 2020-2030 දශකයේදී ශ්‍රී ලංකාව දකුණු ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයටම ගණකාධිකරණ ශිල්පීන් සහ වෘත්තීයවේදීන් බිහි කරන ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය සම්පූර්ණ සහාය දෙන බවත් හෙතෙම කීය.
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවීමෙන් පසු ඔහු එම කරුණු කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපති ඉන් කි ජූ මහතා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඉකුත් දා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය.
යුනෙස්කෝ ආධාර මත ඉදි කරන ලද දකුණු ආසියානු ගුරු පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිතව කලාපයේම දරු දැරියන්ට වාණිජ, ගණකාධිකරණ සහ ව්‍යවසායකත්ව විෂයවලට අදාළව ගුරු පුහුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට ද ඉන් කි ජූ මහතා මෙහිදි එකඟතාව පළ කළේය.
ජාත්‍යන්තර ගණකාධිකරණ සම්මේලනයේ සභාපතිවරයකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 15ක පසුවය.
උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, ගණකාධිකරණ සම්මේලනයේ හිටපු සභාපති සහ වෘත්තීය ගණකාධිකරණ සංවිධාන සංවර්ධන කමිටුවේ සභාපති අර්ජුන හේරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
055