ශ්‍රී ලංකාවට රුසියානු සංචාරකයන් පිරිසක්


(ටී.කේ.ජී.කපිල)
 
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මොවුහු රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි, රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් අද (1) උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
 
වර්තමාන ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳව රුසියාවට ද ආරංචි වූ බවත්, එහෙත් තමන් නොබියව  සැලසුම් කළ පරිදි මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත් මෙහිදී අදහස් දැක්වූ සංචාරකයෝ පැවසූහ.
 
මෙම රුසියානු සංචාරකයන් පිරිස ශ්‍රී ලංකාවේ දින 12 ක් ගත කිරීමට අපේක්ෂා කරන අතර, ඔවුන් වැලිගම, හික්කඩුව, බෙන්තොට ආදී ප්‍රදේශවල නවාතැන් ගැනීමට සැලසුම් කර තිබේ.
 
ඊට අමතරව සීගිරිය, නුවරඑළිය සහ ඇල්ල ආදී ප්‍රදේශ නැරඹීමට යාමට ද නියමිතය.
 
මෙම සංචාරය ශ්‍රී ලංකාවේ එක්සෝටික් හොලිඩේ ඉන්ටර්නැෂනල් නම් සංචාරක ප්‍රවර්ධන ආයතනය විසින් සංවිධානය කර තිබිණි.