ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සීයයට 2.7 ක් බව ලෝක බැංකුව කියයි


(හර්ෂණ තුෂාර සිල්වා)
 

මේ වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.7% ක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කරයි. සිය නවතම වාර්තාව ඉදිරිපත් කරමින් ලෝක බැංකුව ඒ බව වාර්තා කර තිබේ.
 
 පසුගිය වසරේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයත් මේ වසරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවත් ආයෝජන සහ අපනයන ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම නිසා මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2.7% ක අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සිය වාර්තාවෙන් ඇස්තමේන්තු කර තිබේ.  
 
කෙසේ නමුත් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී ඇස්තමේන්තු ගත ආර්ථික වර්ධන වේගය අඩුව තිබේ. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය 3.2% කින් වේගයකින් වර්ධනය වූ බව ලෝක බැංකු වාර්තාවේ සඳහන් වේ.

 මේ අතර ලබන වසරේදී මෙරට ආර්ථිකය 3.3% කින් ද 2021 දී 3.7% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කරයි.

 ලෝක බැංකුවේ ඇස්තමේන්තු කිරීම්වලට අනුව දකුණු ආසියානු කලාපයේ ඉහළම ආර්ථික වර්ධන වේගයක් ඇති රට බවට පත්ව ඇත්තේ බංග්ලාදේශයයි. මේ වසරේදී එරට ආර්ථිකය 8.1% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත. ඊට අමතරව ඇෆ්ගනිස්තානයේ 2.5% කින්, භූතානයේ 5කි% න්, ඉන්දියාවේ 6 % කින්, මාලදිවයිනේ 5.2% කින්, නේපාලයේ 7.1% කින්, පාකිස්තානයේ ආර්ථිකය 3.3% කින් ද වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත