ශ්‍රීලංකන් ප්‍රවාහන ආදායම බිලියන 120 දක්වා ඉහළට


(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09 ක කාලපරිච්ඡේදයේ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ  ගොස් ඇතැයි  සමාගමේ සන්නිවේදන අංශය සදහන් කරයි.

ඒ අනුව ගුවන් යානා යෙදවීම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ආදායම, වෙළඳ පොළ ආදායම සහ ඒකක පිරිවැය අඩුවීම යනාදියෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතැයිද සමාගම පෙන්වා දෙයි.
 
මෙම කාල පරිච්ජේදය තුළ ප්‍රධාන ගුවන් සේවා මෙහෙයුම්වලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ ප්‍රවාහන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 746 ක් හෙවත් රුපියල් බිලියන 120 දක්වා වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වර්ධනයකි.
 
නිසි අයුරින් ඵලදායි ලෙස ගුවන් යානා මෙහෙයුම් සඳහා යෙදවීම, ගුවන් ගමන් වාර ක්‍රමවත්ව හා නිවැරදිව මෙහෙයුම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත ආසන ධාරිතාව 6.5%කින් වැඩිදියුණු වි ඇති බවද සමාගම පෙන්වා දෙයි.