ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපීය ප්‍රමුඛ ගුවන් සමාගමක් ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින් ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
ලෝක සංචාරක සම්මාන උළෙලේ ආසියාව සහ ඕෂනියාවට අදාළ සම්මාන උත්සවය 2019 ඔක්තෝබර් 12 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් වියට්නාමයේ දී පැවැත්විණි.
මෙම සම්මානය සඳහා තරග කළ අනෙකුත් තරගකරුවන් අතරට බැංකොක් එයාර්වේස්, කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය, චයිනා සදර්න් එයාර්ලයින්ස්, හයිනාන් එයාර්ලයින්ස්, හොංකොං එයාර්ලයින්ස්, කොරියන් එයාර්, මැලේසියා එයාර්ලයින්ස්, සිල්ක් එයාර් සහ සිංගප්පූරු ගුවන් සමාගම් එක්ව සිටියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ආරම්භ කරන ලද නවතාවයෙන් යුත් ප්‍රචාරණ වැඩසටහන් මගින් සංචාරකයින් හට ඉන්දියානු සාගර කලාපය වෙත සංචාරය කිරීමට, නිරතුරුව කරන ලද දැනුවත් කිරීම් සහ පෙළඹවීම මෙම සම්මානය දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ගෞරවනීය සම්මානය හිමිවීම තුළින් ඉන්දියන් සාගර කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රීලංකන් දැරූ උත්සාහයේ සාර්ථකත්වය තවත් තහවුරු කරන බවයි.
එසේම ඉන්දියානු උපමහාද්වීපය වෙත සහ ඉන් පිටතට යාමට ඇති අපගේ ගෝලීය සම්බන්ධතා හේතුවෙන් කොළඹ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව හා ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර ඉන්දියාවේ ගමනාන්ත 11 ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 121 ක් සිදුකරමින් කලාපය තුළ විශාල සහයක් ලබාදෙයි. ඒ අනුව චෙන්නායි, ට්‍රිවන්ඩ්‍රම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, බැංගලෝර්, නවදිල්ලිය, කොචින්, මදුරෙයි, කොල්කටා, කොයිම්බතූර්,හයිද්‍රාබාද්,ඩකා, කරච්චි සහ ලාහෝර් වැනි ජනප්‍රිය නගරවලට ද ගුවන් සේවය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
මෙම වසරේදී ගුවන් සේවය කලාපයේ සම්බන්ධතා වැඩි දියුණු කිරීම් සිදු කළ අතර ඒ අනුව කොළඹ සහ නවදිල්ලිය අතර නව ගුවන් සංඛ්‍යාත තුනක් එකතු කරමින් මේ වන විට සතියකට ගුවන් ගමන් 18 ක් දක්වා ව්‍යාප්ත කර ඇත. එසේම ජපානයේ නරීටා සහ මාලදිවයින අතර සෘජු ගුවන් ගමන් ව්‍යාප්ත කිරීමට කටයුතු සළසා ඇත.
ලෝක සංචාරක සම්මාන උළෙල සංචාරක ක්‌ෂේත්‍රයේ විවිධ අංශ හඳුනා ගැනීමටත්, සංචාර ඇතුළු විශිෂ්ටතා ඇගයීමටත් 1993 වසරේ දී ස්‌ථාපිත කර ඇත. ලෝක සංචාරක සම්මාන ප්‍රධානෝත්සවය ලොව විශිෂ්ටතම වෙළඳ නාම විශිෂ්ටත්වය අගයනු ලබන සම්මාන උළෙලක් බව ගෝලීයව පිළිගනී.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 48 ගමනාන්ත 109 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.