සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8,665 කින් ඉහළට


  • වට්ටම් මිල ගණන් ප්‍රධාන හේතුවක්

විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8,665 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

පහළ යන පොලී අනුපාත මධ්‍යයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ණය කාඩ්පත් මාර්ගයෙන් මිලදී ගැනීමේදී ලබාදෙන වට්ටම් ඉහළ දැමීමට මෙරට බැංකු කටයුතු කිරීම මෙලෙස නොවැම්බර් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8665 කින් ඉහළ යෑමට හේතු වන්නට ඇතැයි පැවැසෙයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසය වනවිට මෙරට සක්‍රීය ණය කාඞ්පත් සංඛ්‍යාව 1,942,989 ක් ලෙස සටහන් වී තිබූ අතර එය නොවැම්බර් මාසයේදී 1,951,654 ක් දක්වා වැඩිවී තිබිණි. එම සංඛ්‍යා දෙක සංසන්දය කළ විට නොවැම්බර් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8665 කින් ඉහළ ගොස් ඇති බව දැකගත හැක.

ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සැප්තැම්බර් මාසයේදී 7,958 කින් සහ ඔක්තෝබර් මාසයේදී 6,653 කින් ඉහළ ගොස් ඇත.

පසුගිය වසරේ පළමු මාස 11 තුළ මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 34,569 කින් සියයට 1.8 කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. 2023 වසර අවසානයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 1,917,085 ක් ලෙස සටහන් වී තිබූ අතර පසුගිය වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට එය 1,951,654 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2023 වසරේ පළමු මාස 11ක කාලය තුළදී 39,991 කින් පහළ ගොස් තිබූ බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 ක් බවත් මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. මහ බැංකු දත්ත වාර්තාවලට අනුව 2022 වසර අවසන් වනවිට 1,952,991 ක් ලෙස සටහන් වූ මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2023 වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට 1,913,000 ක් දක්වා පහත වැටී ඇත.