(ටී.කේ.ජී.කපිල)
දකුණු ආසියාවේ ගුවන් යානා ඉංජිනේරු සේවා සැපයීමේ ප්‍රමුඛයා වන ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමට සීෂෙල්ස් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන එයා සීෂෙල්ස් නව පාරිභෝගිකයෙකු ලෙස එක් වී සිටී.
ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු අංශය ගුවන් යානා නඩත්තු සේවා, අලුත්වැඩියා සහ පිරිපහදු සේවා ලබාගැනීම එහි අරමුණ වී ඇත. එයා සීෂෙල්ස් සේවයට අයත් ඒ- 320 සහ ඒ- 321 ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ අංගනය වෙත පැමිණ තිබූ අතර, එම ගුවන් යානාවල " ඒ පරීක්ෂාව " ( A Check ) සාර්ථකව නිම කර තිබේ.
මීට අමතරව කටුනායක සහ මාලේ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සඳහා මූලික නඩත්තු ඉංජිනේරු කටයුතු සහ ගුවන් යානා සහතික කිරීමේ සේවාවද ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ඉංජිනේරු අංශය මගින් කරයි.
ඒ සඳහා ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් ගුවන් යානාවලට අමතරව, ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං ගුවන් යානා වන බී- 777, බී- 737 එන්.ජී සහ බී- 787 සඳහා ද මෙම නඩත්තු සේවා සහතික ද නිකුත් කරයි.
කටුනායක ගුවන් තොටුපළ යාත්‍රාංගනය තුළ ඕනෑම කාලගුණික තත්වයක් යටතේ එකවර ගුවන් යානා කීපයක් පරීක්ෂා කිරීම්, නඩත්තු සහ පිරිපහදු සේවා මෙන්ම සහතික නිකුත් කිරීමට ද අවශ්‍ය පහසුකම් සකස් කර තිබේ.
සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේන් රාජ්‍යයන්ගේ ජාතික ගුවන් සේවා, මෙම කටයුතු සඳහා දැනටමත් ශ්‍රී ලන්කන් ඉංජිනේරු අංශයට එක්ව සිටී.