හම්බන්තොට වරායේ තොග භාණ්ඩ හැසිරවීමේ ඵලදායිතාව ඉහළට


හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) විසින් මුදා හරින ලද ඉහළතම තොග ප්‍රමාණය වාර්තා කරමින් මෑතකදී ඉන්සි සිමෙන්ති සඳහා ගෙන ආ ජිප්සම් තොග දිනකට මෙට්‍රික් ටොන් 24,000 බැගින් හසුරුවන ලදි.

ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රසම්පාදන හා සැපයුම්හි අධ්‍යක්ෂ තුසිත් ගුණවර්ණසූරිය මහතා පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ වරායකට වේගය සහ කාර්යක්ෂමතාව අනුව හිමිවූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. “ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති නිෂ්පාදන සමාගම ලෙස අප විශාල යාත්‍රාවලින් අමුද්‍රව්‍ය ආනයනය කරමු. එම යාත්‍රා රටට පැමිණි පසු හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) සහ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පොර්ට් සර්විසස් සමාගම (HIPS) , වේගයෙන් තොග මුදාහැරීමේ කටයුතු සිදු කරයි. වරාය මෙහෙයුම් වේගවත් වන තරමට අපට පමණක් නොව රටටත් වැඩි වාසියක් ලැබෙනු ඇත. මන්දයත් යාත්‍රාව වරායේ රැඳී සිටින දින 2 1/2 සඳහා අප, රඳවා තබා ගැනීමේ හා ප්‍රමාද ගාස්තු ලෙස ඇමෙරිකානු ඩොලර් 75,000කට ආසන්න මුදලක් ගෙවයි. එබැවින්, අප මෙවර සිදු කල ආකාරයට මෙන් දින දෙකහමාරකට කලින් මුදාහැරීමේ කටයුතු නිමා කල නිසා, සැලකිය යුතු ලෙස පිරිවැය ඉතිරි කර ගැනීමට අපට හැකි වුණා. එය අපගේ සමාගමට වාසියක් වන අතර රට සඳහාද විදේශ විනිමය සැලකිය යුතු ලෙස ඉතිරි කිරීමකි”.

හම්බන්තොට වරායෙහි තොග හැසිරවීමේ වේගය මීට වසරකට පමණ පෙර දිනකට මෙට්‍රික් ටොන් 12,000 ක් පමණ වූ බවත් එය සියයට සියයක් ඉහළ ගොස් ඇති බවත්, ඵලදායිතාවය දෙගුණයකින් ඉහළ යාම හා විශිෂ්ට සේවාවන් පිරිනැමීම, කැපී පෙනෙන බව තුසිත් මහතා කියයි.

HIPG හි වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසන්නේ පූර්ණ ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත්වීමේ ඉලක්කය වෙත හම්බන්තොට වරාය වේගයෙන් ළඟා වන බවයි.